මෙම වසරේ මේ දක්වා කාලය තුළ ශ්රී ලංකාවෙන් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු මරණ සංඛ්යාව 81ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි. එම ඒකකයේ නවතම සංඛ්යාලේඛනවලට අනුව, මේ වන විට වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්යාව 105,295කි.
පළාත් මට්ටමින් වැඩිම රෝගීන් සංඛ්යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතිනි; එම සංඛ්යාව 54,783කි. දෙවනුවට වැඩිම රෝගීන් ප්රමාණයක් වාර්තා වන දකුණු පළාතෙන් රෝගීන් 14,954ක් වාර්තා වී ඇති අතර, මධ්යම පළාතෙන් රෝගීන් 10,549ක් සහ සබරගමුව පළාතෙන් රෝගීන් 8,629ක් ලෙස ද වාර්තා වී තිබේ. දිස්ත්රික් මට්ටමින් සැලකීමේදී වැඩිම රෝගීන් පිරිසක් වාර්තා වී ඇත්තේ ගම්පහ (22,094) සහ කොළඹ (20,453) දිස්ත්රික්කවලිනි. මීට අමතරව මහනුවර දිස්ත්රික්කයෙන් රෝගීන් 8,398ක් සහ කළුතර දිස්ත්රික්කයෙන් රෝගීන් 6,593ක් ද වාර්තා වී ඇත.
කාලීන දත්තවලට අනුව, මෙම වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්යාවක් වාර්තා වී ඇත්තේ ජූලි මාසයේදී වන අතර, එම මාසයේදී පමණක් වාර්තා වූ රෝගීන් සංඛ්යාව 29,964කි. එසේම, ඔක්තෝබර් මාසයේ මේ දක්වා කාලය තුළ රෝගීන් 4,575ක් වාර්තා වී තිබේ.
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මදුරුවන් බෝවීමේ අවදානම ඉහළ ගොස් ඇති බැවින්, තම නිවාස සහ අවට පරිසරය පිරිසිදුව තබා ගනිමින් මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීමට වගබලා ගන්නා ලෙස සෞඛ්ය අංශ ජනතාවගෙන් දැඩිව ඉල්ලා සිටී.

