ශ්රී ලංකාවට ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් බවට පත්වීමේ වැඩි හැකියාවක් පවතින බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් අද (21) දින සිට දිවයින පුරා මෙන්ම දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්රදේශවල වැසි තත්ත්වයේ සැලකිය යුතු වැඩි වීමක් අපේක්ෂා කෙරේ.
දිවයිනේ බොහෝ ප්රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. විශේෂයෙන්ම බස්නාහිර, සබරගමුව, මධ්යම, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්රික්කයේත් ඇතැම් ස්ථාන වෙත මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි පතිත විය හැකි බවට අනතුරු අඟවා ඇත. මීට අමතරව, මධ්යම සහ ඌව පළාත්වල ඇතැම් ප්රදේශවල අලුයම් කාලයේදී මීදුම් සහිත ස්වභාවයක් අපේක්ෂා කළ හැකිය. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු උවදුරු අවම කර ගැනීම සඳහා අවශ්ය පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර, අද උදෑසන 4.15ට නිකුත් කර උදෑසන 10.15 දක්වා බලපැවැත්වෙන පරිදි රළු මුහුදු ප්රදේශ පිළිබඳ විශේෂ අවවාදාත්මක නිවේදනයක්ද කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත. කන්කසතුරේ සිට කල්පිටිය, කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශවල ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, එවැනි අවස්ථාවලදී සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60ත් 70ත් දක්වා තාවකාලිකව ඉහළ යා හැකි බැවින් එම මුහුදු ප්රදේශ ඉතා රළු විය හැක. එබැවින්, ධීවර සහ නාවික ප්රජාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන ලෙස කාරුණිකව ඉල්ලා සිටින අතර, කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව නිකුත් කරන නවතම නිවේදන පිළිබඳ නිරන්තරයෙන් විමසිලිමත් වන ලෙස දන්වා සිටී.

