මැදපෙරදිග කලාපයේ පවතින ආරක්ෂක තත්ත්වය සැළකිල්ලට ගනිමින්, සෞදි අරාබියේ දම්මාම් සහ රියාද් නගර වෙත ක්රියාත්මක සියලු ගුවන්ගමන් අත්හිටුවීමේ කාලය ඔක්තෝබර් 24 වැනි දා දක්වා දීර්ඝ කිරීමට ශ්රීලන්කන් ගුවන් සේවය පියවර ගෙන තිබේ.
විශේෂ නිවේදනයක් නිකුත් කරමින් එම ගුවන් සේවය අවධාරණය කර ඇත්තේ මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සෑම විටම තම ප්රමුඛතාව වන බවය. කලාපය තුළ සාමාන්ය වාණිජ ගුවන් ගමන් යළි ඇරඹීමට තරම් සුදුසු මට්ටමක ආරක්ෂක වාතාවරණයක් පවතින බව තහවුරු වූ වහාම අදාළ ගුවන්ගමන් යළි ආරම්භ කිරීමට කටයුතු කරන බවද එම නිවේදනයේ සඳහන් වේ.
මෙම ගුවන්ගමන් අත්හිටුවීම හේතුවෙන් බලපෑමට ලක්වන මගීන්ට අවශ්ය වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා ශ්රී ලංකාව තුළ සිටින්නන්ට 1979 යන දුරකථන අංකයට ද, විදේශයන්හි සිටින මගීන්ට +94 11 777 1979 අංකයට ද ඇමතීමෙන් හෝ +94 74 444 1979 යන අංකයට WhatsApp පණිවිඩයක් යොමු කිරීමෙන් තොරතුරු දැනගත හැකි බව ශ්රීලන්කන් ගුවන් සේවය දන්වා සිටියි.

