ඉන්ධන සැපයුම අඛණ්ඩයි – ලෝක තෙල් මිල ඉහළ ගියත් බර ජනතාව පිට පටවන්නේ නෑ – කැබිනට් ප්‍රකාශක

0
6

ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) මඟින් දිවයින පුරා ඉන්ධන සැපයීම අඛණ්ඩව සිදුකරන බවත්, ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගියද එම සම්පූර්ණ පිරිවැය ජනතාව මත නොපටවා සහන සැලසීමට රජය කටයුතු කරන බවත් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

සංස්ථාවේ පිරවුම්හල් නොමැති රටේ ප්‍රධාන ස්ථාන 55ක් පමණ හඳුනාගෙන ඇති අතර, එම ප්‍රදේශ ආශ්‍රිතව පිහිටි අනෙකුත් පිරවුම්හල් වෙත වැඩි වශයෙන් ඉන්ධන ලබාදීමට කටයුතු යොදා තිබේ. මෙවැනි අභියෝගාත්මක අවස්ථාවකදී ලාභය පමණක් අරමුණු කර නොගෙන, ජනතාව වෙනුවෙන් අඛණ්ඩව ඉන්ධන සැපයීමට කටයුතු කරන ලෙස අදාළ සියලුම පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවද අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

ඛනිජ තෙල් සංස්ථාවේ වෙළෙඳපොළ නියෝජනය පිළිබඳව අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ 2025 ජනවාරි මාසයේදී සියයට 55ක් වූ සංස්ථාවේ වෙළෙඳපොළ කොටස මේ වන විට සියයට 76ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම ඉන්දියන් ඔයිල් (LIOC) සමාගම සතු වූ සියයට 21ක වෙළෙඳපොළ කොටස මේ වන විට සියයට 12ක් දක්වා පහත බැස ඇති බවද හෙතෙම සඳහන් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මඟින් පිරිවැයට අනුරූප මිල සංශෝධන සිදුකිරීම අවධාරණය කර තිබුණද, රජය ජනතාව වෙත සැලකිය යුතු සහනාධාරයක් ලබාදී ඇත. ඒ අනුව පසුගිය අවස්ථාවේ ඩීසල් ලීටරයකට රුපියල් 100ක සහ පෙට්‍රල් ලීටරයකට රුපියල් 20ක සහනයක් ලබාදුන් අතර, වර්තමානයේදීත් ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 70ක සහනයක් ලබාදෙමින් පවතී. ඉදිරියේදී ලෝක වෙළෙඳපොළේ සිදුවන මිල උච්චාවචනයන් සැලකිල්ලට ගනිමින් ජනතාවට ලබාදිය හැකි උපරිම සහන පිළිබඳව සොයා බලන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here