පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සම්බන්ධයෙන් බන්ධනාගාරය කටයුතු කළේ ආඥාපනතට අනුකූලවයි – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස.

0
7

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ සිවුර ඉවත් කර ගිහි ඇඳුම ඇන්දවීම බන්ධනාගාර ආඥාපනත ප්‍රකාරව සිදුවූවක් බවත්, එහිදී උන්වහන්සේට විශේෂත්වයක් දක්වා නොමැති බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි. අද (06) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ විවිධ වැරදි සම්බන්ධයෙන් දැනට බන්ධනාගාරගතව සිටින භික්ෂූන් වහන්සේලා 63 දෙනාට ද අනුගමනය කර ඇත්තේ එම නීතිමය පියවරම බවයි.

ඥානසාර හිමියන් අද දින ගිහි ඇඳුමින් අධිකරණය වෙත රැගෙන ඒම සමාජය තුළ දැඩි කතාබහට ලක්ව ඇති අතර, මේ සම්බන්ධයෙන් කෝට්ටේ සංඝ සභාව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

කෝට්ටේ සංඝ සභාවේ ප්‍රධාන ලේඛකාධිකාරී, පූජ්‍ය ආචාර්ය කොටපිටියේ රාහුල අනුනායක හිමියන්ගේ අත්සනින් යුතුව යොමු කර ඇති එම ලිපියේ දැක්වෙන්නේ, ඥානසාර හිමියන් විනය පිටකයට අනුව පරාජික වී ඇති බවට හෝ සිවුර ඉවත් කිරීමට තරම් බරපතළ හේතුවක් සිය සංඝ සභාවට වාර්තා වී නොමැති බවයි. එමෙන්ම ශාසනික විනය පරීක්ෂණයකින් පසුව සිවුර ඉවත් කිරීම හෝ පවත්වාගෙන යාම පිළිබඳ තීරණය ගැනීම සිය සංඝ සභාවේ වගකීමක් බැවින්, උන්වහන්සේට නැවත සිවුර ඇඳීමට අවස්ථාව ලබාදෙන ලෙස ද එමගින් ඉල්ලා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here