වත්මන් ලොව අංක එකේ එක්දින කණ්ඩායම වන ඉන්දියාවට එරෙහිව ඉන්දියාවේ ගුවහාති හි පැවැති තරගයේදී ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් ඉතිහාසයේ තමන් රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත්ව තිබේ.
පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් නියමිත පන්දුවාර 50 තුළ කඩුලු 7ක් දැවී ලකුණු 405ක් ලබාගනිමින් මෙම ඓතිහාසික සන්ධිස්ථානය පසුකළේය. මෙය ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පැරණිතම කණ්ඩායමක් වන කොදෙව්වන් එක්දින පිටියේ ලකුණු 400 සීමාව පසුකළ ප්‍රථම අවස්ථාව වන අතර, මීට පෙර ඔවුන්ගේ ඉහළම ලකුණු සංඛ්‍යාව ලෙස සටහන් වූයේ 2019 වසරේ එංගලන්තයට එරෙහිව ලබාගත් ලකුණු 389යි.
කොදෙව් ඉනිම වෙනුවෙන් ජෝන් කැම්බල් (101), නායක ෂායි හෝප් (104) සහ අමීර් ජන්ගෝ (114) ශතක 3ක් වාර්තා කළහ. මෙය එක්දින ඉනිමකදී කොදෙව් පිතිකරුවන් තිදෙනෙකු ශතක රැස්කළ පළමු අවස්ථාව වන අතර, සමස්ත එක්දින ක්‍රිකට් ඉතිහාසයේම ඉනිමකදී ශතක 3ක් වාර්තා වූ 6 වැනි අවස්ථාව ලෙස ද මෙය වාර්තා අතරට එක්වේ.

