සෞදියේදී මරණ දඬුවම හමුවේ සිටින අනෝජන් ශිවරාජාගේ දිවිය බේරාගන්නැයි ස්විට්සර්ලන්තයේ සෛවනෙරිකූඩම් සංවිධානයෙන් ඉල්ලීමක්

0
21

සෞදි අරාබියේදී දැඩි නීතිමය අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකිකයෙකු වන අනෝජන් ශිවරාජා මහතාගේ ජීවිතය බේරාගැනීම සඳහා වහාම ඉහළ රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් මැදිහත් වන ලෙස ස්විට්සර්ලන්තයේ බර්න් නුවර ක්‍රියාත්මක ‘සෛවනෙරිකූඩම්’ (Saivanerikoodam) ආගමික සහ සමාජයීය සංවිධානය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියි.

ඔහුට එරෙහිව මරණ දඬුවම පැනවීමේ අවදානමක් පවතින බවට තොරතුරු වාර්තා වීමත් සමග, සවුදි අරාබි රජය සහ අදාළ බලධාරීන් සමග සාකච්ඡා කර මෙම පියවර ගන්නා ලෙස එම සංවිධානය අවධාරණය කරයි.

කිසිදු ආගමිකයෙකුගේ හැඟීම්වලට රිදවීම තම සංවිධානයේ අරමුණ නොවන බවත්, විශේෂයෙන්ම ඉස්ලාම් ආගමට සහ මුස්ලිම් ජනතාවගේ ආගමික හැඟීම්වලට තමන් ගරු කරන බවත් පවසන එම සංවිධානය, මනුෂ්‍යයන් අතින් වැරදි සිදුවිය හැකි බැවින් තම වරද වටහාගෙන ජීවිතය යහපත් කරගැනීමට අවස්ථාවක් දිය යුතු බව පෙන්වා දෙයි. අනෝජන් ශිවරාජා මහතා තමා අතින් සිදුවූ වරද පිළිබඳව දැඩි ලෙස පසුතැවෙන බවත්, ඉදිරියේදී යහපත් ලෙස ජීවත්වීමට අපේක්ෂා කරන බවත් මාධ්‍ය වාර්තා මගින් අනාවරණය වී ඇති බවද එම සංවිධානය සඳහන් කරයි.

අනෝජන් මහතාගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් ස්විට්සර්ලන්තයේ පිහිටි සවුදි තනාපති කාර්යාලය හරහා සවුදි රජතුමාගෙන්ද, ඉන්දීය තානාපති කාර්යාලය හරහා ඉන්දීය අගමැතිවරයාගෙන්ද, ජනාධිපති ලේකම් කාර්යාලය හරහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගෙන්ද, සවුදි රජුගේ “කසිඩ්” (KAICIID) අන්තර් ආගමික පදනම හරහාද ලිඛිතව ඉල්ලීම් කර ඇත.

සවුදි බලධාරීන් සමග සාකච්ඡා කර මරණ දඬුවම වැළැක්වීමට ඇති සියලුම නීතිමය සහ ප්‍රායෝගික මාවත් භාවිත කරන ලෙසත්, මානුෂීය පදනම මත දඬුවම ලිහිල් කර ඔහුව නිදහස් කර ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් අදාළ ඉල්ලීමේ දැක්වේ.

තවද, මෙම ඉල්ලීම පිටුපස කිසිදු දේශපාලන අරමුණක් නොමැති අතර, මනුෂ්‍ය ජීවිතයක් බේරාගැනීමේ අරමුණින් පමණක් මෙය සිදුකරන බවත්, මෙම කටයුත්ත සඳහා මැදිහත්වන සියලු පාර්ශ්වයන්ට තම කෘතඥතාව පිරිනමන බවත් ‘සෛවනෙරිකූඩම්’ සංවිධානය වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here