අනෝජන් බේරා ගන්න රජයේ පියවර පිළිබඳව ඇමති නලින්ද කියයි

0
10

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටින සිවරාසා අනෝජන් නමැති ශ්‍රී ලාංකික තරුණයා බේරා ගැනීම වෙනුවෙන් රජය දැනටමත් පියවර රැසක් ගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (22) පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.

මෙම සිදුවීම වාර්තා වූ මොහොතේ සිටම රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සහ විදේශීය දූත මණ්ඩල හරහා අවශ්‍ය මැදිහත්වීම් සිදු කර ඇති අතර, අදාළ තරුණයා නිදහස් කරගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් සෞදි රජු වෙත යොමු කරන විශේෂ ඉල්ලීම් ලිපියක් භාරදීමට නියෝජ්‍ය කථානායකවරයා ප්‍රමුඛ පක්ෂ විපක්ෂ සර්වපාක්ෂික පාර්ලිමේන්තු නියෝජිත පිරිසක් පිටත් කර යැවීමට කටයුතු යොදා තිබේ.

මීට අමතරව, සිවරාසා අනෝජන්ගේ නඩු කටයුතු සඳහා වැය වන සමස්ත මුදල සම්පූර්ණයෙන්ම රජය විසින් දැරීමට තීරණය කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,

මේ සිදුවීම වාර්තා වුණ දවසේ සිටම රාජ්‍ය තාන්ත්‍රිකය සහ අපේ විදේශීය දූත මණ්ඩල උපයෝගී කරගෙන මේකට මැදිහත් වීමක් සිදුකරමින් හිටියා. ඒක ඒ පවුලේ අයත් දන්නවා. ඊළඟට මේ තත්ත්වය අනුව තවදුරටත් මේ මැදිහත් වීම කරමින් යනවා. ඊට අමතරව ජනාධිපතිතුමාගෙන් සෞදි රජුට ඉල්ලීමක් හැටියට මේ ශ්‍රී ලාංකික තරුණයාට මේ වරද පිළිබඳව සමාව ලබා ගැනීමට, දඬුවම ලිහිල් කර ගැනීමට අවශ්‍යකරන මැදිහත්වීම ලිපියක් මගින් සෞදි රජුට ඉදිරිපත් කරන්න සූදානම් කරමින් තිබෙනවා. ඒක ගිහින් බාර දෙන්න අපේ නියෝජ්‍ය කථානායකතුමාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ විපක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායමක් එක්ක ඒ ඉල්ලීම ඉදිරිපත් කරන්න තමයි රජය බලාපොරොත්තු වෙන්නේ. ඊට අමතරව මේ නඩු කටයුතු වෙනුවෙන් යන සම්පූර්ණ මුදල මෙතෙක් වියදම් කරන ලද මුදල් ප්‍රතිපූර්ණය කරන්නත් ඉදිරියේදී වියදම් කරන මුදල් සියල්ල රජයෙන් දරන්නට අපි කටයුතු කරනවා. ඊළඟට මේ සම්බන්ධව අපේ පැත්තෙන් නීති සහයක් ලබා දෙන්න සහ මේ ගැන තවදුරටත් සමාලෝචනය කරන්න ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පේරුම සහ ජනාධිපති නීතිඥ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා කියන ජනාධිපති නීතිඥවරුන් දෙදෙනා ඔවුන්ගේ වියදමින්ම මේ කටයුතු සඳහා මැදිහත් වෙනවා. මේ අනුව තමයි රජය මේ ගැන මේ වන විට කටයුතු කරමින් පවතින්නේ. ඊයේ ජනාධිපතිතුමා මේ පවුලේ අයත් සමගත් සාකච්ඡා කළා. ඊට කළින් නීතිපති දෙපාර්තමේන්තුව, විදේශ කටයුතු අමාත්‍යාංශය ඇතුළු මේකට සම්බන්ධ ආයතන එක්ක ජනාධිපතිතුමා විශේෂ සාකච්ඡාවක් කළා කොහොමද මේ ශ්‍රී ලාංකික තරුණයා බේරා ගන්නේ කියන එක. ඒ අනුව දැනටමත් ක්‍රියාමාර්ග කිහිපයක් අනුගමනය කරමින් යනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here