එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ආසියානු කුසලාන තරගයේදී දැක්වූ විශිෂ්ට දස්කම් හේතුවෙන්, ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නවතම අයි.සී.සී. විස්සයි20 ශ්‍රේණිගත කිරීම්හි ප්‍රධාන කාණ්ඩ තුනෙන්ම සිය ක්‍රිකට් දිවියේ ඉහළම ස්ථාන හිමිකර ගැනීමට සමත්ව තිබේ.
ඩුබායිහිදී පැවැති එම තරගයේදී එක් කඩුල්ලක් දවාගනිමින් නොදැවී ලකුණු 48ක් රැස්කළ ඇය, ශ්‍රී ලංකාවට කඩුලු 9ක විශිෂ්ට ජයක් අත්කර දීමට නායකත්වය දුන්නාය. ඒ අනුව 36 හැවිරිදි මෙම ප්‍රබල තුන් ඉරියව් ක්‍රීඩිකාව විස්සයි20 පිතිකාරිනියන් අතර 6 වැනි ස්ථානයටත්, පන්දු යවන්නියන් අතර 33 වැනි ස්ථානයටත්, තුන් ඉරියව් ක්‍රීඩිකාවන් අතර 3 වන ස්ථානයටත් උසස්වීම් ලබා ඇත.
මීට අමතරව ශ්‍රී ලංකාවේ ඉමේෂා දුලානි ස්ථාන 4ක් ඉදිරියට පැමිණෙමින් පිතිකාරිනියන් අතර 18 වැනි ස්ථානයටත්, හර්ෂිතා සමරවික්‍රම 23 වැනි ස්ථානයටත් පත්ව සිටිති. පන්දු යවන්නියන් අතර සුගන්ධිකා කුමාරි ස්ථාන 5කින් ඉදිරියට පැමිණ 23 වැනි ස්ථානය හිමිකරගෙන තිබේ.

