පාතාල ක්රියාකාරකම් සහ මත්කුඩු ජාවාරම් සඳහා යතුරුපැදි සැපයීමේ නිරත වූ බවට සැකකෙරෙන “බෝම්බුවල සුද්දා” නමැති 30 හැවිරිදි පුද්ගලයෙකු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
කළුතර දකුණ පොලිස් වසමේ නාගොඩ මංසන්ධිය ප්රදේශයේ වෙළෙඳසැලක් අසල තිබූ යතුරුපැදියක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් CCTV දර්ශන ඔස්සේ පරීක්ෂණ පැවැත්වූ පොලීසිය, මෙම සැකකරු හඳුනාගෙන ඇත. පසුව කළුතර අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ඇතුළු කණ්ඩායමක් විසින් බෝම්බුවල ප්රදේශයේදී අදාළ යතුරුපැදිය ධාවනය කරමින් සිටියදීම මොහුව අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී යතුරුපැදියේ ලියාපදිංචි අංක තහඩුවට ස්ටිකර් අලවා අංක වෙනස් කර තිබූ බව අනාවරණය වී ඇත.
මොහු ඉංගිරිය, රත්නපුර සහ කිරිඇල්ල යන පොලිස් වසම්වල සිදු වූ යතුරුපැදි සොරකම් රැසකට ද සම්බන්ධ බවට තොරතුරු අනාවරණය වී තිබේ.
මෙලෙස සොරකම් කරන යතුරුපැදි මත්කුඩු ජාවාරම් සහ පාතාල කල්ලිවල විවිධ සාපරාධී ක්රියාකාරකම් සඳහා ලබාදී ඇති බවට සැකකෙරේ.
අත්අඩංගුවට ගත් සැකකරු කළුතර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, කළුතර අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන පවත්වයි.

