රුසියාවේ පැවැත්වුණු ජාත්‍යන්තර බෞද්ධ සමුළුවේදී ශ්‍රී ලංකාවට ප්‍රමුඛ ස්ථානයක්

0
8

2026 අගෝස්තු 18 සිට 21 දක්වා රුසියානු සමූහාණ්ඩුවේ ටුවා (Tuva) හි පැවැත්වුණු ජාත්‍යන්තර බෞද්ධ සමුළුව සඳහා (International Buddhist Forum) සංස්කෘතික අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් උසස් පෙළේ ශ්‍රී ලාංකික නියෝජිත පිරිසක් සහභාගී වූහ.

සමුළුවේ සමාරම්භක උත්සවය සහ පූර්ණ සභා වාරය ඇමතූ අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, ථෙරවාදී බුදුදහම සුරැකීම, ප්‍රචාරය කිරීම සහ එහි මූලික ආරක්ෂකයා ලෙස ශ්‍රී ලංකාව ඉටුකරන ඓතිහාසික කාර්යභාරය පෙන්වා දුන්නේය.

මෙම නියෝජිත පිරිසට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ගාමිණී සෙනරත්න, පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සමන් පේරමුණ, ජාතික විශ්වකෝෂයේ ප්‍රධාන කර්තෘ ආචාර්ය රංජන සේනාසිංහ සහ තානාපති කාර්යාලයේ උපදේශක මිහිරාවී දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළත් වූහ.

ඔවුන් බුදුදහම සහ පාරිසරික විද්‍යාව, බෞද්ධ සංචාරක ව්‍යාපාරය, බෞද්ධ ග්‍රන්ථ පරිවර්තනය සහ විහාරස්ථාන ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ පැවැති සංවාද මණ්ඩප සඳහා සහභාගී වෙමින් රුසියානු බෞද්ධ ප්‍රජාව සහ ජාත්‍යන්තර ආයතන සමඟ ශ්‍රී ලංකාවේ සබඳතා තවදුරටත් ශක්තිමත් කළහ.

මීට අමතරව, පැපිලියාන සුනෙත්‍රාදේවි පිරිවෙනේ පූජ්‍ය රාජාංගනයේ පියදස්සි හිමි, චිත්තවිවේක ආරාමයේ පූජ්‍ය රක්වානේ ඥානසීහ හිමි සහ ජේතවන ආරාමයේ මහා සංඝරත්නය නියෝජිත පිරිසට ඇතුළත් වූහ. උන්වහන්සේලා බුදුදහම සහ චිත්ත චෛතසික, පාරම්පරික වෛද්‍ය විද්‍යාව සහ රාජ්‍ය සබඳතා පිළිබඳව අදහස් දක්වමින් භාවනා වැඩසටහන් සහ ධර්ම දේශනා ද පැවැත්වූහ.

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් මහතාගේ අනුග්‍රහයෙන් පැවැත්වුණු මෙම සමුළුව සඳහා ආසියාව, යුරෝපය සහ අප්‍රිකාව නියෝජනය කරමින් ආගමික නායකයින්, රාජ්‍ය රාජ්‍යතාන්ත්‍රිකයින්, විද්වතුන් සහ පර්යේෂකයින් 600 කට අධික පිරිසක් එක්ව සිටියහ. මෙම සමුළුව රුසියාවේ බෞද්ධ ප්‍රදේශ වන බුරියාතියා (Buryatia), කල්මිකියා (Kalmykia) සහ ටුවා (Tuva) යන කලාපයන්හි වසරින් වසර මාරුවෙන් මාරුවට පැවැත්වේ.

සමුළුව අතරතුර, අමාත්‍ය සෙනෙවි මහතා ටුවා හි සංස්කෘතික අමාත්‍ය වික්ටර් චික්ජිට් (Viktor Chikzhit) මහතා හමුවී දෙරට අතර සංස්කෘතික හා ආගමික സഹයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳව සාකච්ඡා කළේය. එසේම TASS සහ Russia-24 නාලිකා සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවලදී, ශ්‍රී ලංකාවේ සංස්කෘතික අනන්‍යතාවය සුරැකීමට බුදුදහමෙන් ලැබෙන පිටිවහල පැහැදිලි කළ අමාත්‍යවරයා යුරේසියානු සංස්කෘතික സഹයෝගීතාව උදෙසා “නූතන සාහිත්‍ය සංස්කෘතික ත්‍රිකෝණයක්” (New Literary Cultural Triangle) පිහිටුවීමේ යෝජනාවක් ද ඉදිරිපත් කළේය.

ථෙරවාදී බෞද්ධ උරුමයේ සහ ජාත්‍යන්තර සංවාදයේ ප්‍රධාන මධ්‍යස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියට ගෙන යමින්, ඉදිරි සමුළුවලට ද සක්‍රීයව දායක වීමට බලාපොරොත්තු වන බව මොස්කව් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here