ගුවන් භාණ්ඩ ප්‍රවාහනය ඩිජිටල් කිරීමට පියවර

0
1

ශ්‍රී ලංකාවේ ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම, වේගවත් හා විනිවිදභාවයෙන් යුතු එකක් බවට පත් කිරීම සඳහා Air Cargo Community System (ACCS) නැවත හඳුන්වාදීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය සඳහා ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගම, ශ්‍රී ලංකා රේගුව, ආයෝජන මණ්ඩලය, ශ්‍රීලන්කන් ගුවන් සේවය සහ ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය ඇතුළු අදාළ සියලු ආයතන එක්කර ගනිමින් බහු පාර්ශ්වකරුවන්ගේ කමිටුවක් ද ස්ථාපිත කර ඇත.

2023 වසරේදී මෙම පද්ධතිය ස්ථාපනය කිරීමට දැරූ මූලික උත්සාහය ආයතනික සම්බන්ධීකරණයේ පැවති අඩුපාඩු නිසා අසාර්ථක වුවද, නව රජය පත්වීමත් සමඟ අදාළ සියලු පාර්ශ්වයන් එකම වේදිකාවකට ගෙන එමින් එම කටයුතු නැවත ක්‍රමවත්ව ආරම්භ කර තිබේ.

මේ වන විට ACCS පද්ධතියේ ශක්‍යතාව, තාක්ෂණික හා ව්‍යාපාරික අවශ්‍යතා පිළිබඳ අධ්‍යයනයන් සිදුකෙරෙමින් පවතින අතර, එහි ප්‍රගතිය සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් වරාය සහ සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 21 වනදා පැවැත්විණි.

මෙම නව ඩිජිටල් පද්ධතිය සක්‍රිය වීමත් සමඟ ගුවන් භාණ්ඩ නිෂ්කාශන ක්‍රියාවලියේ පවතින ප්‍රමාදයන් සහ අනවශ්‍ය ලේඛන කටයුතු අවම වී ආයතන අතර තොරතුරු හුවමාරුව වේගවත් වනු ඇත. එමෙන්ම, ආනයන-අපනයනකරුවන්ට විනිවිදභාවයෙන් යුතු සේවාවක් ලබා දෙමින් රටේ වෙළෙඳ හා ආර්ථික කටයුතු සඳහා වඩාත් හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට මෙයින් හැකිවන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here