වත්මන් කාලගුණික වෙනස්වීම් හමුවේ දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ සෞඛ්‍යය ආරක්ෂා කරගැනීමට වෛද්‍ය උපදෙස්

0
9

දිවයින පුරා පවතින අධික උණුසුම සහ තද වර්ෂාව සහිත වෙනස්වන කාලගුණික තත්ත්වය හමුවේ දරුවන් අතර රෝග බෝවීමේ වැඩි ප්‍රවණතාවක් පවතින බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පෙන්වා දෙයි. මෙම අධික උණුසුම නිසා දරුවන්, වැඩිහිටියන් මෙන්ම ගර්භනී මව්වරුන් පවා විජලනයට ලක්වීමේ ඉහළ අවදානමක් පවතී. එම නිසා වැඩිහිටියෙකු දිනකට අවම වශයෙන් ජලය ලීටර් 3ක්වත් පානය කළ යුතු අතර, දරුවන්ට ඔවුන්ගේ ශරීර බරට සරිලන පරිදි ප්‍රමාණවත් ලෙස ජලය ලබා දීමට දෙමාපියන් වගබලා ගත යුතුය. දීර්ඝ කාලයක් තිස්සේ නිසි ලෙස ජලය පානය නොකිරීමෙන් වකුගඩු ආබාධ ඇතිවිය හැකි බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු වී ඇත.

ප්‍රමාණවත් ලෙස ජලය පානය නොකර එළිමහනේ රැකියාවල නිරත වීම සහ විනෝද චාරිකා යෑම වැනි ක්‍රියාකාරකම් හේතුවෙන් තාප කම්පනය, ක්ලාන්තය සහ වලිප්පුව වැනි බරපතළ සංකූලතා ඇති විය හැකි අතර, එය මරණය පවා කැඳවිය හැකි තත්ත්වයකි. එබැවින් නිවසින් බැහැරට යද්දී සෑම විටම ජල බෝතලයක් රැගෙන යාම අත්‍යවශ්‍ය වේ. මීට අමතරව, මේ දිනවල පාචන රෝග පැතිරීමේ අවදානමක්ද පවතින බැවින් දරුවන්ට පිරිසිදු පානීය ජලය සහ පිරිසිදු ආහාර පමණක් ලබා දීමට කටයුතු කළ යුතුය.

කෘතිම පැණි බීම සහ කෙටි ආහාර වෙනුවට දෙහි, නාරං, දොඩම්, තැඹිලි, කැඳ සහ සුප් වැනි ස්වාභාවික දියර වර්ග පානය කිරීමට දරුවන් යොමු කරන ලෙස වෛද්‍යවරයා උපදෙස් දෙයි. එසේම, නිවසේ සිටින කාලය තුළ දරුවන්ට ජංගම දුරකථන භාවිතයට ඉඩ නොදී ඔවුන්ව විවිධ ශාරීරික ක්‍රියාකාරකම් සහ එළිමහන් සෙල්ලම් සඳහා යොමු කරන ලෙස ද ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා දෙමාපියන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here