මාතර සිට පොතුවිල් දක්වා සහ හලාවත සිට කල්පිටිය හරහා මන්නාරම දක්වා වන මුහුදු කලාපවල ධීවර රැකියාවේ නිරත වීමෙන් වළකින ලෙස ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය ධීවර ප්‍රජාවගෙන් ඉල්ලීමක් කරයි. නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරන්නේ සෙසු ප්‍රදේශවලින් මුහුදු යන යාත්‍රා පවා මෙම අවදානම් සහිත කලාප වෙත ඇතුළු නොවී සිටීමට වගබලා ගත යුතු බවයි.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ කිහිපයක් අතිශය රළු ස්වභාවයක් ගන්නා බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (08) කළ අනතුරු ඇඟවීමත් සමඟ මෙම පියවර ගෙන ඇත. එම දෙපාර්තමේන්තුවට අනුව මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මෙන්ම හලාවත සිට කල්පිටිය හරහා මන්නාරම දක්වා වන මුහුදු තීරයන්හි සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 70 දක්වා ඉතා ඉහළ යා හැක.
මුහුද ඉතා රළු වී වෙරළාසන්න ධීවර කටයුතු පවා අතිශය අවදානම් තත්ත්වයකට පත්විය හැකි බැවින්, ඉදිරියට නිකුත් කරන කාලගුණ නිවේදන කෙරෙහි දැඩි අවධානය යොමු කරමින් ලබාදෙන ආරක්ෂිත උපදෙස් අකුරටම පිළිපදින ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව සමස්ත ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටී.

