කොලොම්බියාවේ නව ජනාධිපතිවරයා ලෙස දක්ෂිණාංශික නීතිඥවරයෙකු වන 48 හැවිරිදි අබෙලාර්ඩෝ ඩි ලා එස්ප්‍රියෙල්ලා (Abelardo de la Espriella) මහතා දිවුරුම් දී තිබේ.
සාම්ප්‍රදායිකව අගනුවර වන බොගෝටා හි පැවැත්වෙන දිවුරුම් දීමේ උත්සවය වෙනුවට, මෙවර එය සංවිධානය කර තිබුණේ රටේ නිරිතදිග ප්‍රදේශයේ පිහිටි කාලි (Cali) නගරයේදීය.
දිවුරුම් දීමෙන් අනතුරුව අදහස් දක්වමින් නව ජනාධිපතිවරයා අවධාරණය කළේ, රටේ ස්ථාවරත්වයට හානි කරන කිසිදු ක්‍රියාවකට ඉඩ නොදෙන අතර මත්ද්‍රව්‍ය ජාවාරම හා සම්බන්ධ ත්‍රස්ත ක්‍රියාකාරකම් නොනවත්වා පරාජය කරන බවයි. සන්නද්ධ කණ්ඩායම් සමග සාකච්ඡා කිරීමේ කාලය අවසන් වී ඇති බවත්, රටේ ආරක්ෂාව වෙනුවෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු පැවසීය.
මීට පෙර සන්නද්ධ කණ්ඩායම් සමග සාකච්ඡා මාර්ගයෙන් සාමය ඇති කිරීමට උත්සාහ කළ හිටපු වාමාංශික ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝගේ (Gustavo Petro) ප්‍රතිපත්තිය ඔහු මෙහිදී දැඩි ලෙස විවේචනය කළේය.
නව ජනාධිපතිවරයාගේ ප්‍රධාන ප්‍රතිපත්ති මාලාවට පහත කරුණු ඇතුළත් වේ:
-
ආරක්ෂාව: සන්නද්ධ කණ්ඩායම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මර්දනය කිරීම.
-
රාජ්‍ය වියදම්: රජයේ වියදම් සියයට 40කින් පමණ කපා හැරීම.
-
ආර්ථිකය හා බලශක්තිය: කොලොම්බියානු ව්‍යාපාරිකයන් සඳහා රජයේ සහාය ලබා දීම, තෙල් හා ගෑස් කර්මාන්තය යළි ශක්තිමත් කිරීම සහ Ecopetrol රාජ්‍ය තෙල් සමාගම බලගැන්වීම.
තහවුරු කළ තෙල් සංචිත තවත් වසර කිහිපයකට පමණක් ප්‍රමාණවත් වීම සහ ගෑස් සංචිත පහත වැටීම පිළිගත නොහැකි බවත්, ඒ සඳහා වහා විසඳුම් ලබා දී බලශක්ති ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත් කරන බවත් ජනාධිපති ඩි ලා එස්ප්‍රියෙල්ලා වැඩිදුරටත් සඳහන් කළේය.

