ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමාණවත් පියවර නොගැනීම සහ ජනතාව දැනුවත් නොකිරීම හේතුවෙන් මෙටා (Meta) සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 567ක අතිරේක වන්දි මුදලක් ගෙවන ලෙස එක්සත් ජනපදයේ නව මෙක්සිකෝ ප්‍රාන්ත විනිසුරුවරයෙකු නියෝග කර තිබේ. මීට පෙර පැනවූ ඩොලර් මිලියන 375ක දඩයද ඇතුළත්ව, එම නඩුවට අදාළව මෙටා සමාගමට ගෙවීමට සිදුව ඇති සමස්ත දඩ මුදල ඩොලර් මිලියන 942 දක්වා ඉහළ යයි.
2023 දී නව මෙක්සිකෝ ප්‍රාන්තය විසින් ගොනු කළ මෙම නඩුවේදී චෝදනා කෙරුණේ, මෙටා හි තනි නිර්දේශිත ඇල්ගොරිතම (recommendation algorithms) මගින් බාලවයස්කරුවන් හානිකර අන්තර්ගතයන් සහ ලිංගික අපරාධකරුවන් වෙත යොමු වන බවයි. නඩුව විභාග කළ විනිසුරු Bryan Biedscheid, මෙටා සමාගම පරිසරය දූෂණය කරන කර්මාන්ත ශාලාවකට සමාන කරමින්, එය “මහජන පීඩාවක්” (public nuisance) බවට පත්ව ඇතැයි ප්‍රකාශ කළේය. සමාජ මාධ්‍ය සමාගමක් මෙලෙස අධිකරණයක් විසින් නිල වශයෙන් නම් කළ පළමු අවස්ථාව මෙය වන අතර, ළමා ආරක්ෂාව වෙනුවෙන් පැනවූ විශාලතම මූල්‍ය දඩයද මෙය වේ.
නියෝග කර ඇති මුදලින් ඩොලර් මිලියන 420ක් මෙටා පද්ධති හේතුවෙන් හානියට පත් දරුවන්ගේ මානසික සෞඛ්‍ය ප්‍රතිකාර, උපදේශන සහ පුනරුත්ථාපන කටයුතු වෙනුවෙන් වෙන් කෙරෙන විශේෂ අරමුදලකට බැර කිරීමට නියමිතය.
කෙසේ වෙතත්, මෙම තීන්දුව ප්‍රතික්ෂේප කරන මෙටා සමාගම ඊට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට තීරණය කර ඇත. තමන් පරිශීලකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අඛණ්ඩව කැපවන බවත්, හානිකර අන්තර්ගතයන් ඉවත් කිරීමට විවෘතව කටයුතු කරන බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

