දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශ යළි සක්‍රීයවීමේ අවදානමක්

0
15

පසුගිය දින කිහිපය තුළ පැවති දැඩි වර්ෂාපතනය හේතුවෙන් පස ජලයෙන් සංතෘප්ත වී ඇති බැවින්, දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්වූ ප්‍රදේශ නැවත නායයෑමේ සක්‍රීය අවදානමකට ලක්ව ඇති බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය (NBRO) අනතුරු අඟවයි.

එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසන්නේ ඉදිරි දින දෙක තුළ (07 සහ 08) වර්ෂාව තවත් වැඩිවිය හැකි අතර, පස බුරුල් වී පැවතීම නිසා කුඩා වර්ෂාවකදී පවා නායයෑම්, පස්කණ්ඩි කඩාවැටීම් සහ ගල් පෙරළීම් සිදුවීමේ දැඩි ප්‍රවණතාවක් පවතින බවයි.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට කෑගල්ලෙන් සිදුවීම් 15ක් සහ නුවරඑළියෙන් සිදුවීම් 4ක් ඇතුළුව සමස්ත සිදුවීම් 21ක් වාර්තා වී ඇති අතර නායයෑම් හේතුවෙන් පුද්ගල මරණ 5ක් ද සිදුව තිබේ.

මෙම අවදානම් තත්ත්වය හමුවේ මාර්ග භාවිතා කරන්නන් මෙන්ම ඇළ මාර්ග දෙපස පදිංචිකරුවන් ද වඩාත් කල්පනාකාරීව කටයුතු කළ යුතුය. හදිසියේ ජල උල්පත් මතුවීම, විදුලි කණු හෝ ගස් ඇලවීම වැනි පූර්ව නායයෑම් ලක්ෂණ නිරීක්ෂණය වූ වහාම එම ස්ථානවලින් ඉවත් වීමට ජනතාව පියවර ගත යුතුය.

දැනට ක්‍රියාත්මක ස්වයංක්‍රීය වර්ෂාමාන 330 ආසන්න සංඛ්‍යාවක් මෙන්ම කාලගුණවිද්‍යා සහ වාරිමාර්ග දෙපාර්තමේන්තු පද්ධති ඔස්සේ පැය 24 පුරාම තත්ත්වය නිරීක්ෂණය කරමින් අවශ්‍ය අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට කටයුතු යොදා ඇත. එබැවින්, බලධාරීන් විසින් ලබාදෙන ඉවත් වීමේ උපදෙස් පිළිපදිමින් ජීවිත ආරක්ෂාව වෙනුවෙන් ප්‍රමාද නොවී ආරක්ෂිත ස්ථාන වෙත යොමු වන ලෙස ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here