ලංකා ප්‍රිමියර් ලීග් (LPL) තරගාවලි ඉතිහාසයේ සාර්ථකම කණ්ඩායම වන ‘ජැෆ්නා කිංග්ස්’ (Jaffna Kings) ෆ්‍රැන්චයිස් කණ්ඩායම, ස්ටොක්හෝම් කේන්ද්‍ර කරගත් ‘Anchor Sports AB’ සමාගම මගින් මිලදී ගෙන තිබේ. හිටපු ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක සහීර් ඛාන් (Zaheer Khan) සහ ව්‍යාපාරික නාගේන්ද්‍ර සිද්දෞතම් (Nagendra Siddoutam) යන මහත්වරුන්ගේ සම හිමිකාරීත්වයෙන් යුතු මෙම ආයතනයේ අත්පත් කරගැනීමත් සමඟ, ඉදිරියේදී අදාළ කණ්ඩායම ‘Anchor Jaffna Kings’ ලෙස නම් කිරීමට නියමිතය.
පෙර හිමිකාරීත්වය (Sports Commune) දැරූ හිටපු ඉන්දීය ක්‍රීඩක මන්ජෝත් කල්රා තරග පාවාදීමේ චෝදනා මත අත්අඩංගුවට පත්වීම සහ අනෙක් සම හිමිකරු වන මයාන්ක් ගෝයල් අතුරුදන් වීම නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය (SLC) මගින් ඔවුන්ගේ හිමිකාරීත්වය අහෝසි කර තිබිණි.
අනතුරුව SLC සහ IPG සමාගමේ හදිසි මෙහෙයුම් පාලනය යටතේ පවත්වාගෙන ගිය ජැෆ්නා කිංග්ස් පිලට, බෙල්ජියමේ සහ කැනඩාවේ ක්‍රිකට් කණ්ඩායම් හිමි Anchor Sports AB ආයතනය පැමිණීමත් සමඟ නැවතත් ස්ථාවරත්වයක් හිමිව ඇත. පිටියෙන් පිටත මෙවැනි අර්බුද පැවතිය ද, LPL තරගාවලි 5න් 4ක්ම ජයග්‍රහණය කරමින් ජැෆ්නා කණ්ඩායම තවදුරටත් ලීගයේ සාර්ථකම කණ්ඩායම ලෙස පෙරමුණේ පසුවේ.

