බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (05) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, එම ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන් සබරගමුව පළාතේ මෙන්ම මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් පවතී. මීට අමතරව ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිව් දිස්ත්‍රික්කයේත් පස්වරු 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය විය හැක.
එමෙන්ම උතුරු-මැද, සබරගමුව, දකුණු, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං හමා යා හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පූර්වාරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

