මහනුවර, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කවලට ඇදහැලුණු අධික වර්ෂාපතනය හේතුවෙන් ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සතු ජල පිරිපහදු මධ්‍යස්ථාන කිහිපයක කටයුතු තාවකාලිකව අත්හිටුවීමට සිදුවූ බව එම මණ්ඩලයේ සභාපති චන්දන බණ්ඩාර මහතා පවසයි.
පේරාදෙණියේ පිහිටි මීවතුර ජල පිරිපහදු මධ්‍යස්ථානයේ ඉලෙක්ට්‍රොනික පද්ධතිය දක්වා ජලය පැමිණීම නිසා ඊයේ (03) පස්වරුවේ එහි කටයුතු අත්හිටුවීමට සිදුවූ අතර, එමගින් පවුල් 40,000කට පමණ බලපෑම් එල්ල විය. කෙසේ වෙතත්, මහවැලි ගඟේ ජල මට්ටම පහළ යාමත් සමඟ මේ වන විට මීවතුර ජල පිරිපහදු මධ්‍යස්ථානය සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර ඇති බව ද සභාපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම මාඔයේ ජල මට්ටම ඉහළ යාම නිසා මාවනැල්ල සහ අසුපිනිඇල්ල ජල පිරිපහදු මධ්‍යස්ථාන දෙකට ද බලපෑම් එල්ල වී තිබේ. ඉන් මාවනැල්ල පිරිපහදු මධ්‍යස්ථානය මේ වන විට යථා තත්ත්වයට පත්කර ජල සැපයුම සක්‍රිය කර ඇති නමුත්, අසුපිනිඇල්ල මධ්‍යස්ථානය තවමත් අකර්මන්‍ය තත්ත්වයේ පවතී.
මේ හේතුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කය තුළ ජල සබඳතා 40,000කට ආසන්න සංඛ්‍යාවකට බලපෑම් එල්ල වී ඇති බවත්, මෙම ගංවතුර තත්ත්වයේ බලපෑම මහනුවර සහ කෑගල්ල දිස්ත්‍රික්කවලට පමණක් සීමා වූ අතර බස්නාහිර පළාතට කිසිදු බලපෑමක් සිදුව නොමැති බවත් සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.
ගංවතුර තත්ත්වය සමඟ ගංගාවල ජලයේ මඩ සහ බොර ගතිය වැඩි වී තිබුණ ද, නිසි පරිදි පිරිපහදු කිරීමෙන් අනතුරුව ජලය බෙදා හරින බැවින් එහි ගුණාත්මකභාවය පිළිබඳව කිසිදු සැකයක් තබා නොගන්නා ලෙස ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

