ගුරු සහ විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම ඇතුළු ප්‍රධාන ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (04) දහවල් අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරත වීමට ගුරු හා විදුහල්පති වෘත්තීය සමිති තීරණය කර ඇත.
අයවැයට පෙර ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී ද මෙකී වැටුප් විෂමතා පිළිබඳව ප්‍රමාණවත් අවධානයක් යොමු නොවීම මෙම විරෝධතාවයට ප්‍රධාන හේතුවක් වී ඇති බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කරයි.
මීට අමතරව, ගුරුවරුන්ගේ උසස්වීම් ප්‍රමාද වීම හේතුවෙන් ලක්ෂයකට ආසන්න ගුරු පිරිසක් අසාධාරණයට ලක්ව සිටීම, මොඩියුලර් ඇගයීම් වෙනුවට විභාග ක්‍රමයක් හඳුන්වාදීමෙන් මතුව ඇති ගැටලු, සහ ගුරුවරුන්ට මුහුණ දීමට සිදුව ඇති අධික ලේඛන කටයුතු හමුවේ මතුව ඇති පීඩනය පිළිබඳවද ඔහු පෙන්වා දෙයි.
එසේම විදුහල්පති සේවයේ පවතින ගැටලුවලටද අධ්‍යාපන අමාත්‍යාංශයෙන් මෙතෙක් සාධාරණ විසඳුම් ලැබී නොමැති බව ජෝසප් ස්ටාලින් මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

