ජූලි මාසයේ විදේශ රැකියා පිටත්වීම් වාර්තාගත ලෙස ඉහළට

0
5

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සංඛ්‍යාන දත්තවලට අනුව, මේ වසරේ ජූනි මාසයට සාපේක්ෂව ජූලි මාසයේදී ශ්‍රී ලාංකිකයින් විදේශ රැකියා සඳහා පිටත්ව යාම 4.84%ක වර්ධනයක් පෙන්නුම් කර ඇත. ඒ අනුව ජූලි මාසයේදී පුද්ගලයින් 25,622 දෙදෙනෙකු විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති අතර, එය මෙතෙක් මේ වසරේ එක් මාසයක් තුළ වාර්තා වූ ඉහළම විදේශගත වීම ලෙස සටහන් වේ.

ජූනි මාසයේදී විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් තිබුණේ 24,440 දෙනෙකි. ඊශ්‍රායලය, දකුණු කොරියාව සහ ජපානය යන රටවල් සමඟ රජය ඇති කරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම් හේතුවෙන් එම රටවල රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් අතර වැඩි උනන්දුවක් නිර්මාණය වී ඇති බවද කාර්යාංශය සඳහන් කරයි.

එම ප්‍රවණතාවයට අනුව ජූලි මාසයේදී පමණක් ඊශ්‍රායලයට 2,521ක්, දකුණු කොරියාවට 1,618ක් සහ ජපානයට 79 දෙනෙකු පිටත්ව ගොස් තිබේ. තවද ජපානයේ නිෂ්පාදන, ඉදිකිරීම්, සාත්තු සේවා සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රවල රැකියා හිමි වූ තරුණ තරුණියන් 14 දෙනෙකු සඳහා ගුවන් ටිකට්පත් පිරිනැමීමද ඊයේ (03) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේදී සිදු කෙරිණි. මේ අතර, මෙම වසරේ මුල් මාස හය (ජනවාරි සිට ජූනි දක්වා) තුළ විදේශගත ශ්‍රමිකයන් විසින් ඇමෙරිකානු ඩොලර් බිලියන 4.6ක විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් මෙරටට එවා ඇති බවද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here