මහවැලි ගඟ ආශ්‍රිත පහත් බිම් ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය 48ක කාලය තුළ මහ ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බැවින් ඒ සඳහා විශේෂ රතු නිවේදනයක් නිකුත් කිරීමට වාරිමාර්ග දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. මෙම හදිසි අනතුරු ඇඟවීම අගෝස්තු මස 5 වන දින පස්වරු 1.00 දක්වා ක්‍රියාත්මක වන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මහවැලි ගඟේ ඉහළ ධාරා ප්‍රදේශවලට පසුගිය පැය කිහිපය තුළ ලැබුණු අධික වර්ෂාපතනය, ඉදිරියේදී තවදුරටත් වැසි ඇතිවිය හැකි බවට වන පුරෝකථන මෙන්ම කොත්මලේ ජලාශයේ වාන් දොරටු විවර කිරීමට සිදුවීමේ අවදානම ද සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන තිබේ.
ඒ අනුව මහවැලි ගඟ ද්‍රෝණියේ උඩුනුවර, උඩපළාත, යටිනුවර, දොලුව, කොත්මලේ, පස්මාගේ, ගඟඉහළ කෝරළය, පම්බාගේ කොරළේ, ගඟවට කෝරළය, හාරිස්පත්තුව සහ පාතදුම්බර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට අයත් පහත් බිම් ප්‍රදේශ සඳහා මෙම මහ ගංවතුර අවදානම් නිවේදනය සෘජුවම බලපැවැත්වේ.
එබැවින්, එම ප්‍රදේශවල මහවැලි ගඟට ආසන්නව සහ පහත් බිම් ආශ්‍රිතව පදිංචිව සිටින මහජනතාව මේ පිළිබඳව අතිශය විමසිල්ලෙන් පසුවිය යුතු බවත්, ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ජීවිත සහ දේපළ ආරක්ෂා කරගැනීම සඳහා අවශ්‍ය සියලුම පූර්ව ආරක්ෂිත පියවර කඩිනමින් ගන්නා ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණයෙන් යුතුව ඉල්ලා සිටියි.

