පේරාදෙණිය සරසවියේ අධ්‍යයන කටයුතු සහ විභාග තාවකාලිකව අත්හිටුවයි

0
6

පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන කටයුතු සහ විභාග නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව අත්හිටුවීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන ඇත. කෙසේ වෙතත්, විශ්වවිද්‍යාලයේ අත්‍යවශ්‍ය සේවාවන් තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

මේ වන විට සිය ගම් ප්‍රදේශ වෙත ආරක්ෂිතව ගමන් කළ හැකි සිසුන්ට එසේ පිටත්ව යාමට අවසර ඇති අතර, අයහපත් කාලගුණය හේතුවෙන් නිවෙස් බලා යාමට නොහැකි සිසුන්ට සරසවි මැදුර නේවාසිකාගාරය හැර සෙසු විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල පරිපාලනය දැනුවත් කර රැඳී සිටිය හැකිය.

එසේම, අවදානම් සහිත පෞද්ගලික නේවාසික ස්ථානවල රැඳී සිටින සිසුන් ආරක්ෂාව පතා විශ්වවිද්‍යාල නේවාසිකාගාර වෙත පැමිණෙන්නේ නම්, ඔවුන් පිළිගෙන අවශ්‍ය වාර්තා පවත්වා ගන්නා ලෙස නේවාසිකාගාර පාලනාධිකාරියට උපදෙස් ලබා දී තිබේ.

කිසිදු සිසුවෙකුට නේවාසිකාගාරවලින් බලහත්කාරයෙන් පිටව යන ලෙස බල නොකරන බව ද පාලනාධිකාරිය අවධාරණය කරයි. කාලගුණ තත්ත්වය සාමාන්‍ය අතට පත්වන තෙක් විශ්වවිද්‍යාල ප්‍රජාවට සිය ආරක්ෂාව පිළිබඳ ලබා දී ඇති උපදෙස් නිසි පරිදි පිළිපදිමින් කටයුතු කරන ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලය වැඩිදුරටත් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here