කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවවාදාත්මක නිවේදනයක්

0
8

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ඉදිරි පැය 24 තුළදී තවදුරටත් පැවතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ. ඒ අනුව, සබරගමුව පළාත මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්ක සඳහා විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.

අද (03) පෙ.ව. 11.30ට නිකුත් කරන ලද මෙම නිවේදනය හෙට (04) පෙ.ව. 11.30 දක්වා වලංගු වන අතර, එම කාලසීමාව තුළ ඉහත සඳහන් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බැවින් නිරන්තර සූදානමකින් පසුවන ලෙස එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ අතර, ඊයේ (02) පෙ.ව. 8.30 සිට අද (03) පෙ.ව. 8.30 දක්වා වූ පැය 24ක කාලය තුළ දිවයිනේ ඉහළම වර්ෂාපතනයන් නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. එහිදී වැඩිම වර්ෂාපතනයක් වාර්තා වී ඇත්තේ කැනියන් ප්‍රදේශයෙන් වන අතර එය මිලිමීටර් 191.0කි.

ඊට අමතරව ලක්ෂපාන ප්‍රදේශයට මිලිමීටර් 187.0ක්, නෝටන් ප්‍රදේශයට මිලිමීටර් 186.0ක්, කාසල්රී ප්‍රදේශයට මිලිමීටර් 159.0ක්, කොත්මලේ ප්‍රදේශයට මිලිමීටර් 133.2ක් සහ දික්ඔය ප්‍රදේශයට මිලිමීටර් 127.0ක ඉහළ වර්ෂාපතනයන් වාර්තා වී ඇති බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here