ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, මේ වසරේ ජූනි මාසය තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 1,660 ක් ලෙස සටහන් වී තිබේ. විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ එම නිවේදනයට අනුව, වසරේ මුල් මාස හය (ජූනි දක්වා) සඳහා වන සමස්ත අපනයන ආදායම ඩොලර් මිලියන 10,432 ක් දක්වා ඉහළ ගොස් ඇත. ජූනි මාසයේ උපයා ඇති සමස්ත අපනයන ආදායමෙන් ඩොලර් මිලියන 1,144 ක් භාණ්ඩ අපනයනයෙන් ද, ඉතිරි ඩොලර් මිලියන 516 සේවා අපනයනයෙන් ද උපයා තිබේ. මේ අතර, එම මාසය තුළ මෙරටට සිදුකර ඇති භාණ්ඩ ආනයන වියදම ඩොලර් මිලියන 1,972 ක් වන අතර, ඒ අනුව ජූනි මාසයේ වෙළඳ හිඟය ඩොලර් මිලියන 829 ක් ලෙස සටහන් වේ.
මීට අමතරව, සාපේක්ෂව යහපත් වර්ධනයක් පෙන්වමින් පසුගිය ජූනි මාසය තුළදී සංචාරක ක්ෂේත්‍රයෙන් ඩොලර් මිලියන 151 ක ඉපැයීම් ද, විදේශ ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ මඟින් ඩොලර් මිලියන 695 ක ආදායමක් ද මෙරටට ලැබී ඇත. මෙම සියලු විදේශීය මූල්‍ය ගලාඒම් ද සමඟින් ජූනි මස අවසානය වන විට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.5 ක් දක්වා ශක්තිමත් වී ඇති බව ද මහ බැංකු වාර්තාවේ වැඩිදුරටත් දැක්වේ.

