දුම්රිය ස්ථානාධිපතිවරුන්ගෙන් රතු එළියක්

0
3

දුම්රිය දෙපාර්තමේන්තුව තුළ පවතින රාජකාරිමය ගැටලුවලට සහ සංඥා දෝෂවලට බලධාරීන් කඩිනම් විසඳුම් ලබා නොදෙන්නේ නම්, ඉදිරියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය අනතුරු අඟවයි. එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා පෙන්වා දෙන්නේ, බරපතළ සංඥා දෝෂ රැසක් පවතින පසුබිමක බලධාරීන් විසින් තලෙයිමන්නාරම මාර්ගයේ දුම්රිය ධාවනය අනාරක්ෂිත ලෙස ආරම්භ කර ඇති බවයි. පසුගිය සතියේ සිට මෙම මාර්ගයේ ධාවන කටයුතු යළි ඇරඹුණ ද, මේ දක්වා එහි සංඥා පද්ධතිය නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන නොමැත. මේ හේතුවෙන් මැදවච්චිය සහ තලෙයිමන්නාරම් තොට දක්වා ඇති තනි දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු දැනට සිදුවන්නේ හදිසි අවස්ථාවකදී පමණක් භාවිත කරන ‘නියමු ක්‍රමවේදය’ (Pilot System) යටතේ වන අතර, බලධාරීන් එය ස්ථිර ධාවන ක්‍රමවේදයක් ලෙස දිගින් දිගටම භාවිත කරමින් සිටින බවට ද සභාපතිවරයා චෝදනා කරයි.

තලෙයිමන්නාරම මාර්ගයට අමතරව මහව – අනුරාධපුර කොටසේ ද සංඥා ගැටලු මෙතෙක් විසඳී නොමැති අතර, එහි ද කටයුතු සිදුවන්නේ තාවකාලික සංඥා ක්‍රමවේදයන් යටතේය. කෝටි ගණනක මහජන ධනයක් වියදම් කර ප්‍රතිසංස්කරණය කරන ලද මෙම දුම්රිය මාර්ග මේ වන විට අභාවයට යන තත්ත්වයකට පත්ව ඇති බව අවධාරණය කරන දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය, මෙම ගැටලුවලට නිසි විසඳුම් නොලැබුණහොත් වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවට මේ වන විටත් බලධාරීන්ට ලිඛිතව දැනුම් දී ඇති බව වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here