ඉන්දියාවේ සිව් මහල් ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් අට දෙනෙකු ජීවිතක්ෂයට

0
6

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ, ඨානේ දිස්ත්‍රික්කයට අයත් භිවන්දි ප්‍රදේශයේ පිහිටි සිව්මහල් ගොඩනැගිල්ලක කොටසක් ඊයේ (30) රාත්‍රියේ හදිසියේම කඩා වැටී තිබේ. මෙම අනතුරින් පුද්ගලයින් 11 දෙනෙකු පමණ සුන්බුන් අතර සිරවී ඇති බවට තොරතුරු වාර්තා වූ අතර, වහාම ක්‍රියාත්මක වූ සහන සේවා කණ්ඩායම් අද (31) උදෑසන 9 වන විට සුන්බුන් අතරින් මෘත ශරීර 8ක් සොයා ගැනීමට සමත් වී ඇත.

ප්‍රදේශවාසීන් පවසන පරිදි ඊයේ රාත්‍රී 8.00 ත් 9.00 ත් අතර කාලය තුළ මෙම ගොඩනැගිල්ලෙන් විශාල පිපිරීම් හඬක් ඇසී ඇති අතර, ඉන් සුළු වේලාවකට පසු මෙම කඩා වැටීම සිදුව තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් භිවන්දි ගිනි නිවන හමුදාවේ නිලධාරී නිතින් චවාන් මහතා ප්‍රකාශ කළේ, ගොඩනැගිල්ලේ පදිංචිව සිටි සාමාන්‍ය වැසියන් 6 දෙනෙකු සහ එහි අලුත්වැඩියා කටයුතුවල නිරත වෙමින් සිටි සේවකයින් 5 දෙනෙකු මෙලෙස අනතුරට මුහුණ දී ඇති බවයි.

දැනට සොයාගෙන ඇති මෘත ශරීර පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා රෝහල වෙත යොමු කර ඇති අතර, එහි සිටි සේවකයින් කවුරුන්ද යන්න මෙතෙක් නිශ්චිතව හඳුනාගෙන නොමැත. තවත් පිරිසක් සුන්බුන් අතර සිරවී සිටීමේ හැකියාවක් පවතින බැවින්, අතුරුදහන් වූවන් සොයා මුදාගැනීමේ මෙහෙයුම් තවදුරටත් දැඩි වෙහෙසක් ගනිමින් ක්‍රියාත්මක වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here