වෛද්‍ය ඇන්තනි ෆවුචිට එරෙහිව ඇමරිකානු සෙනෙට් සභාවෙන් විමර්ශන

0
2

කොවිඩ්-19 වසංගත සමයේදී අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සහ සත්‍ය තොරතුරු මහජනතාවගෙන් වසන් කිරීමේ චෝදනා මත ඇමරිකාවේ හිටපු ප්‍රමුඛ පෙළේ සෞඛ්‍ය නිලධාරියෙකු වන වෛද්‍ය ඇන්තනි ෆවුචිට එරෙහිව එරට සෙනෙට් සභාව විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ. කෙසේ වෙතත්, වෛරසයේ මූලාරම්භය සම්බන්ධයෙන් සෙනෙට් සභාව සිදුකළ ප්‍රශ්නකිරීම් හමුවේ වෛද්‍ය ෆවුචි පිළිතුරු දීම ප්‍රතික්ෂේප කර ඇති අතර, තමන්ව අසත්‍ය චෝදනා මත වැරදිකරුවෙකු කිරීමට පරීක්ෂණ කණ්ඩායම් උත්සාහ කරන බවට ඔහු චෝදනා කරයි. රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රමුඛ සෙනෙට් සභිකයෙකු වන රැන්ඩ් පෝල්ගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුව තමන්ට පුද්ගලික වෛරයකින් සහ සිරදඬුවම් ලබාදීමේ අරමුණින් කැඳවා ඇති බව ද වෛද්‍ය ෆවුචි ප්‍රකාශ කර සිටී.

මේ අතර, කොවිඩ් වෛරසය චීනයේ වූහාන් විද්‍යාගාරයකින් පිටවූවක් බව තමන් මුල සිටම ප්‍රකාශ කළ බව පවසමින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ද වෛද්‍ය ෆවුචිව ‘පිස්සෙකු’ ලෙස හඳුන්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ලෙස විවේචනය කර ඇත. රිපබ්ලිකන් පක්ෂය දිගු කලක් තිස්සේ මෙලෙස චෝදනා එල්ල කළද, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) තවදුරටත් අවධාරණය කරන්නේ වෛරසය සතුන්ගෙන් මිනිසුන්ට පැතිරී යාමේ ස්වභාවික මූලාරම්භය පිළිබඳ සාක්ෂි පවතින බවයි.

මේ සතියේදී සෙනෙට් සභික රැන්ඩ් පෝල් විසින් මාධ්‍ය වෙත මුදාහළ වෛද්‍ය ෆවුචිගේ වසංගත සමයේ දිනපොත් සටහන්වලින් අනාවරණය වී ඇත්තේ, වෛරසයේ මූලාරම්භය ස්වභාවික එකක් බව ඔහු විශ්වාස කළ ද, එය විද්‍යාගාරයකින් පිටවීමේ හැකියාවක් පවතින්නේද යන්න පිළිබඳව මුල් අවධියේදී ඔහු විවෘත මනසකින් යුතුව සිතා ඇති බවයි. කෙසේ වෙතත්, එල්ල වී ඇති චෝදනා මත වෛද්‍ය ඇන්තනි ෆවුචිට එරෙහිව ක්‍රියාත්මක වන විධිමත් පරීක්ෂණ ඉදිරියටත් අඛණ්ඩව ක්‍රියාත්මක වන බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here