ලෝක තැනැත්තන් වෙළෙඳාමට එරෙහි දිනයේදී ආරක්ෂක ලේකම්ගෙන් විශේෂ පණිවිඩයක්

0
5

අද (30) දිනට යෙදෙන ලෝක තැනැත්තන් වෙළෙඳාමට එරෙහි දිනය වෙනුවෙන්, ශ්‍රී ලංකා තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකායේ සභාපති සහ විශ්‍රාමික ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා විශේෂ පණිවිඩයක් නිකුත් කර තිබේ. සෑම වසරකම ජූලි 30 වනදා සමරනු ලබන මෙම ජාත්‍යන්තර දිනය මෙවර ශ්‍රී ලංකාව ද සමරනු ලබන්නේ, තැනැත්තන් වෙළෙඳාම යනු දුරස්ථ අපරාධයක් නොව අපගේම සමාජය, රැකියා ස්ථාන සහ අන්තර්ජාලය තුළ පවා සිදුවිය හැකි බරපතළ තර්ජනයක් බව සිහිපත් කරමිනි.

මෙවර දිනයේ තේමාව වන “Trapped Behind the Scam” යන්නෙන් අවධාරණය කරන්නේ වර්තමානයේ සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් විසින් පුද්ගලයන් රවටා, බලහත්කාරයෙන් අන්තර්ජාල හා මූල්‍ය වංචාවන් සඳහා යොදවා ගැනීමේ නව ප්‍රවණතාවයයි. බොහෝ විට මෙවැනි අපරාධවල නිරත වන බව පෙනෙන පුද්ගලයන්, සැබවින්ම රැවටීමට හෝ තර්ජනයට ලක්වූ තැනැත්තන් වෙළෙඳාමේ වින්දිතයන් විය හැකි බැවින්, මෙවැනි සිදුවීම්වලදී සැමවිටම වින්දිතයා කේන්ද්‍ර කරගත් ප්‍රවේශයක් අනුගමනය කිරීම අත්‍යාවශ්‍ය වේ.

වෙනස් වන මෙම අපරාධ ස්වරූපයන්ට සාර්ථකව මුහුණ දීම සඳහා සියලුම පාර්ශ්වයන්ගේ සමීප සම්බන්ධීකරණය අත්‍යාවශ්‍ය බව පෙන්වා දෙන ඒ මහතා, තැනැත්තන් වෙළෙඳාම වැළැක්වීම, වින්දිතයන් හඳුනාගෙන ඔවුන්ට ආරක්ෂාව සැලසීම සහ වැරදිකරුවන් නීතිය හමුවට පැමිණවීම වෙනුවෙන් ජාතික කාර්ය සාධක බලකාය අඛණ්ඩව කැපවී සිටින බව ප්‍රකාශ කරයි.

කෙසේ වෙතත්, මෙම උත්සාහය රජයේ වගකීමක් පමණක් නොව සෑම පුරවැසියෙකුගේම සහ ආයතනයකම සාමූහික වගකීමකි. එබැවින්, සියලු දෙනාගේ මානව ගෞරවය ආරක්ෂා කරමින්, වින්දිතයන් කෙරෙහි සහකම්පනයෙන් යුතුව කටයුතු කිරීමටත්, මිනිසුන් සූරාකමින් ලාභ ලබන අපරාධ ජාලයන් පරාජය කිරීම සඳහා එක්ව පෙළගැසෙන ලෙසත් ඔහු සමස්ත ප්‍රජාවගෙන්ම ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here