අධිකරණවල පවතින අධික නඩු තොගය කඩිනමින් විසඳීම සඳහා අත්දැකීම් බහුල විනිසුරුවරුන්ගේ සේවය තවදුරටත් ලබාගැනීමේ අරමුණින්, සියලු විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස් සීමාව ඉහළ නැංවීමට පියවර ගෙන ඇති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළේය. අද (28) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, මේ වන විට අධිකරණ පද්ධතිය තුළ නඩු ලක්ෂ 11කට අධික ප්‍රමාණයක් ගොඩගැසී ඇති බවයි. මෙම තත්ත්වය හේතුවෙන් ජනතාවට වසර ගණනාවක් අධිකරණ ක්‍රියාවලිය වෙනුවෙන් රැඳී සිටීමට සිදුව ඇති බවත්, විශ්‍රාම වයස ඉහළ දැමීම අධිකරණ ක්ෂේත්‍රයේ කාර්යක්ෂමතාව නැංවීම සඳහා ගත් එක් පියවරක් පමණක් බවත් ඔහු සඳහන් කළේය.
නඩු ප්‍රමාදයට බලපාන සෙසු ගැටලු විසඳීමට ද රජය මැදිහත් වන බව පැවසූ අමාත්‍යවරයා, ඒ යටතේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගැටලු විසඳීම, නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව වැඩි කිරීම සහ අධිකරණවල පවතින කාර්ය මණ්ඩල හිඟය පිරවීම සඳහා මේ වන විටත් පියවර ගනිමින් සිටින බව වැඩිදුරටත් අනාවරණය කළේය.
ලංකාවේ ජනගහනයට සාපේක්ෂව විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම නඩු ප්‍රමාදයට ප්‍රධාන හේතුවක් වී ඇති බව මෙහිදී අනාවරණය විය. සංවර්ධිත රටවල ජනගහනයෙන් මිලියනයකට විනිසුරුවරුන් 40ත් 60ත් අතර ප්‍රමාණයක් සිටියද, ශ්‍රී ලංකාවේ එම අගය 20කට ආසන්න මට්ටමක පවතී. වසර ගණනාවක් පුරා අවශ්‍ය පුරෝකථනයන්ට අනුව විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට කටයුතු නොකිරීම හේතුවෙන් වර්තමානයේ මෙම දැඩි නඩු ගොඩගැසීමේ තත්ත්වයට මුහුණ දීමට සිදුව ඇති බව ද අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

