දිවයින වටා වන මුහුදු ප්‍රදේශ රළු වීම සහ තද සුළං ඇතිවීම කෙරෙහි අවධානය යොමු කරමින් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
හෙට (28) පෙරවරු 11.00 දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත් කර ඇති මෙම නිවේදනයට අනුව, දැනට පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් උතුරු, උතුරු-මැද සහ මධ්‍යම පළාත්වලටත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලටත් විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගවත් තද සුළං ඇතිවිය හැකිය.
මීට අමතරව කල්පිටියේ සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා ඉහළ යා හැකි බැවින් එම මුහුදු තීරයන් බෙහෙවින් රළු විය හැකි බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
මේ හේතුවෙන් ධීවර සහ නාවික ප්‍රජාව තම කටයුතුවලදී දැඩි ලෙස අවධානයෙන් පසුවිය යුතු අතර, කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරියේදී නිකුත් කරන නිල නිවේදන කෙරෙහි නිරන්තර අවධානය යොමු කරන ලෙසද දැනුම් දී සිටී.

