ඇමෙරිකානු ප්‍රහාර නතර වුවහොත් තමන් ද ප්‍රහාර නවත්වන බව ඉරානය පවසයි

0
8

ඇමෙරිකාව සිය බෝම්බ ප්‍රහාර එල්ල කිරීම නතර කරන්නේ නම්, තමන් ද ප්‍රහාර නවැත්වීමට සූදානම් බව ඉරානය ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. රොයිටර්ස් පුවත් සේවය අමතමින් ඉරාන ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කර ඇත්තේ තමන් තවදුරටත් “ප්‍රහාරයට ප්‍රහාරයක්” යන ස්ථාවරයේ පසුවන බවයි. ඒ අනුව, ඇමෙරිකාව ප්‍රහාර නතර කළහොත් ඉරානය ද සිය මෙහෙයුම් නතර කරන බවට වන පණිවුඩය දැනටමත් රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඇමෙරිකාව වෙත දැනුම් දී ඇති බව ද එම නිලධාරියා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.

මේ අතර, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදේශකයන් පෙන්වා දී ඇත්තේ ප්‍රහාර එල්ල කිරීම සඳහා සැලසුම් කළ ඉලක්ක අවසන් වෙමින් පවතින බවයි. එමෙන්ම ඇමෙරිකාවේ අවි සංචිත ක්ෂය වීම පිළිබඳව ද අවධානය යොමු වීමත් සමඟ, ඇමෙරිකාව දැනටමත් සිය බෝම්බ ප්‍රහාර මෙහෙයුම් තාවකාලිකව නතර කර ඇති බව සඳහන් වේ. ඉරානයට එරෙහිව ඇමෙරිකාව අඛණ්ඩව රාත්‍රී 13ක් පුරා ගුවන් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු, පසුගිය සිකුරාදා එම මෙහෙයුම් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනුණි. ඒ අනුව, පසුගිය සෙනසුරාදා සහ ඉරිදා දිනවල කිසිදු ඇමෙරිකානු ප්‍රහාරයක් වාර්තා වී නොමැති අතර, ඉරානය ද එම දින දෙක තුළ ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකී සිටි බව විදෙස් මාධ්‍ය පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපති මයික් වෝල්ට්ස් ප්‍රකාශ කර ඇත්තේ, දෙපාර්ශවය අතර රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා සඳහා වැඩි ඉඩකඩක් ලබාදීමේ අරමුණින් ජනාධිපති ට්‍රම්ප් මෙම ප්‍රහාර තාවකාලිකව නැවැත්වීමට තීරණය කළ බවයි. කෙසේ වෙතත්, හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනයට එල්ල වන ඉරාන තර්ජන වැළැක්වීම සඳහා පසුගිය සති දෙකක කාලය තුළ සිදුකළ බෝම්බ ප්‍රහාර හේතුවෙන්, කලින් හඳුනාගෙන තිබූ ඉලක්ක බොහොමයක් මේ වන විට විනාශ වී අවසන් බවට ද ඇමෙරිකානු හමුදා නිලධාරීන් අනතුරු අඟවා ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here