වත්මන් ඩෙංගු රෝග ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් ඩෙංගු රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා විශේෂිත සායනයක් ලබන ජූලි 31වන සිකුරාදා දින සිට බොරැල්ල ජාතික ආයුර්වේද රෝහලේදී ආරම්භ කරන බව එහි අධ්‍යක්ෂ වෛද්‍ය පරාක්‍රම හේමචන්ද්‍ර මහතා පවසයි. මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් ඒ මහතා සඳහන් කළේ ආයුර්වේද වෛද්‍ය සම්ප්‍රදාය යටතේ ඩෙංගු රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට අපේක්ෂා කරන ඕනෑම රෝගියෙකුට මෙම සායනය වෙත පැමිණ ප්‍රතිකාර ලබාගත හැකි බවයි.
මේ අතර ඩෙංගු රෝගය සඳහා සුදුසුකම් ලත් බටහිර හෝ ආයුර්වේද වෛද්‍යවරයෙකු නිර්දේශ කරන ඖෂධ හැර කිසිදු අත් බෙහෙතක් භාවිත නොකළ යුතු බව රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය සමින්ද ආරියරත්න මහතා අවධාරණය කරයි. විශේෂයෙන්ම පැපොල් කොළ යුෂ වැනි අත් බෙහෙත් භාවිතය නිසා ඇතැම් රෝගීන් අසාධ්‍ය තත්ත්වයට පත්ව ඇති අතර විවිධ අසීරු සංකූලතාවලට ද මුහුණ දී තිබේ. එබැවින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පණිවිඩ විශ්වාස කරමින් ස්වයංව ඖෂධ සකසා ගැනීම හෝ භාවිත කිරීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙස වෛද්‍යවරයා මහජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටී.

