දිට්වා ආපදාවෙන් සම්පූර්ණයෙන් විනාශ වූ වතු පාසල් ප්‍රතිසංස්කරණය කඩිනම් කිරීමට උපදෙස්

0
9

දිට්වා ආපදාව හේතුවෙන් සම්පූර්ණයෙන්ම හානියට පත් වූ වතු පාසල් යළි ගොඩනැඟීමේ ක්‍රියාවලිය වහාම කඩිනම් කළ යුතු බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාවේ වතු පාසල් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් (23) දින පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පැවැති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ බව කියා සිටියාය. මේ සඳහා අවශ්‍ය අයවැය ප්‍රතිපාදන දැනටමත් වෙන්වී ඇති බැවින්, භූමිය වෙන්කරවා ගැනීම, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ (NBRO) නිර්ණායක මත භූමියේ යෝග්‍යතාවය අනුමත කර ගැනීම, සැලසුම් සකස් කිරීම සහ තක්සේරුකරණ කටයුතු ප්‍රමුඛතාවක් ලෙස සලකා නිම කළ යුතු බව ද ඇය අවධාරණය කළාය. අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී වතු ආශ්‍රිත පාසල්වල ඉඩම් අයිතිය, අන්තර්කරණ අධ්‍යාපනය (Inclusive Education) ශක්තිමත් කිරීම මෙන්ම ආපදාවලින් හානියට පත් පාසල්වල තොරතුරු රැස්කර මෙහෙයවීම සඳහා සෑම පළාතකටම වෙන වෙනම නිලධාරීන් පත් කිරීමට ද තීරණය විය.

එසේම වතු පාසල්වල පවතින දිගුකාලීන ගුරු හිඟය පියවීම සහ විභාග ප්‍රතිඵල ඉහළ නැංවීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. ඒ අනුව, මෙම වසර තුළ සිදුකරන නව ගුරු බඳවා ගැනීම් හරහා වතු පාසල්වල පුරප්පාඩු පිරවීමට වැඩි අවධානයක් යොමු කරන බවත්, ස්ථිර බඳවා ගැනීම් අවසන් වන තෙක් සුහුරු පුවරු (smart boards) භාවිතයෙන් සම්බන්ධිත පන්ති කාමර (linked classrooms) ක්‍රමයක් ක්‍රියාත්මක කරන බවත් අග්‍රාමාත්‍යවරිය පැවසුවාය. තවද මෙම වසර අවසන් වීමට පෙර සියලුම පාසල් වෙත අන්තර්ජාල පහසුකම් ලබාදීමට කටයුතු කරන අතර, දිස්ත්‍රික් මට්ටමින් නොව එක් එක් පාසල මට්ටමින් ඌණ විභාග ප්‍රතිඵල පෙන්වන පාසල් වෙන් වෙන්ව හඳුනාගෙන ඒවා නගාසිටුවීමට විශේෂ සැලසුම් සකස් කළ යුතු බව ද ඇය සඳහන් කළාය. මෙම අවස්ථාව සඳහා ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, වැවිලි හා ප්‍රජා යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් යන මහත්වරුන් ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here