නිරෝගිමත් මෙන්ම විනයගරුක අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් රට තුළ ශක්තිමත් ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගීමේ අවශ්‍යතාව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා පෙන්වා දෙයි. ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ, තරුණ පරපුර මත්ද්‍රව්‍යවලට යොමුවීම සහ ඉහළ යන රිය අනතුරු වැනි වත්මන් සමාජ ගැටලුවලට විසඳුම් සෙවීමේදී ජන ජීවිතය තුළ ක්‍රීඩාව සංස්කෘතියක් බවට පත් කිරීම මනා පිටිවහලක් වනු ඇති බවයි. මේ සඳහා සමාජය තුළ විශාල ආකල්පමය වෙනසක් ඇති කළ යුතු බව ද ඔහු අවධාරණය කළේය. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ 2026 වසරේ ව්‍යාපෘති ප්‍රගතිය සමාලෝචනය සහ 2027 අයවැය යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව සංවිධානය කර තිබිණි.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, ක්‍රීඩාව යනු හුදෙක් තරගයකින් ඔබ්බට ගිය දෛනික ජන ජීවිතය හා බැඳුණු ක්‍රියාකාරකමක් විය යුතු බව ප්‍රකාශ කළේය. එබැවින් ඉදිරියේදී ක්‍රීඩා තරග සැලසුම් කළ යුත්තේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජයග්‍රහණ ලබා ගැනීමට පමණක් නොව, සමස්ත සමාජය තුළම නව ක්‍රීඩා ප්‍රබෝධයක් ඇති වන ආකාරයෙන් බව හෙතෙම පෙන්වා දුන්නේය. මීට අමතරව, 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඉලක්ක කර ගනිමින් දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් කල්තියා හඳුනාගෙන, ඔවුන්ට අවශ්‍ය පුහුණුව හා පහසුකම් සපයමින් ජයග්‍රහණ කරා මෙහෙයවීමේ වැදගත්කම ද ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා මෙහිදී විශේෂයෙන් සිහිපත් කළේය.

