කොළඹ වරාය නගරය තුළ දී චීන ජාතික කල්ලි දෙකක් අතර ගැටුමක දී, ප්රතිවාදී කල්ලියේ එක් අයෙකු ඝාතනය කර, මෙරටින් පළා යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි චීන ජාතිකයන් දෙදෙනෙකු ඊයේ (23) පස්වරුවේ ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන කොළඹ වරාය පොලීසිය වෙත භාර දී තිබේ.
34 හැවිරිදි සහ 38 හැවිරිදි වියේ පසුවන මෙම චීන ජාතිකයන් දෙදෙනා ඊයේ පස්වරු 04.30 ට ඉන්දියාවේ මුම්බායි නුවර ඔස්සේ සිංගප්පූරුව වෙත පළා යාම සදහා ඉන්දීය ගුවන් සේවයේ ඒ.අයි. – 2275 දරන ගුවන් යානයට පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
ඔවුන් සිංගප්පූරුව තම ගමනාන්තය ලෙස සදහන් ගුවන් යානා ප්රවේශ පත්ර මිළදී ගෙන තිබුණි.
මේ පිළිබද බුද්ධි තොරතුරු කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත ලැබීමත් සමග , ඔවුන් , පිටත්වීමේ පර්යන්තයේ ආවේක්ෂණ රාජකාරී වල නිරත වෙමින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.
මේ වනවිට මෙම චීන ජාතිකයන් දෙදෙනා කොළඹ වරාය පොලීසිය වෙත භාර දීමට පියවර ගෙන තිබේ.

