චීනය විසින් ශැංහයි වෙරළට ඔබ්බෙන් පිහිටි මුහුදු ප්‍රදේශයේ සිට තම ‘Gravity-1’ වාහක රොකට්ටුව සාර්ථකව අභ්‍යවකාශගත කර තිබේ. Taiyuan චන්ද්‍රිකා මධ්‍යස්ථානය මඟින් බෙයිජිං වේලාවෙන් ඊයේ (22) පෙරවරු 10:54 ට මෙම වාණිජ රොකට්ටුව ගුවන්ගත කර ඇති අතර, එමඟින් චන්ද්‍රිකා 9ක් නියමිත කක්ෂවල සාර්ථකව ස්ථානගත කිරීමට හැකි වූ බව චීන බලධාරීන් තහවුරු කරයි. මෙය Gravity-1 රොකට්ටුව ආශ්‍රිතව සිදුකළ පළමු විවෘත සාගර මෙහෙයුම වන අතර, Yangtze ගංගාවට ආසන්න නැගෙනහිර චීන මුහුදු තීරයේදී සිදුකළ චීනයේ ප්‍රථම වාණිජ සාගර අභ්‍යවකාශ මෙහෙයුම ලෙස ද මෙය ඉතිහාසයට එක්වේ.
එක් ස්ථාවර මුහුදු කලාපයකට පමණක් සීමා නොවී, නම්‍යශීලී ලෙස අවශ්‍ය ස්ථානය තෝරා ගනිමින් චන්ද්‍රිකා නිකුත් කළ හැකි මෙම ජංගම ක්‍රමවේදය හේතුවෙන් චන්ද්‍රිකා අභ්‍යවකාශගත කිරීමේ කාර්යක්ෂමතාව ඉහළ ගොස් ඇත. එමෙන්ම, මෙමඟින් චීනයේ අභ්‍යවකාශ මෙහෙයුම් හැකියාවන් තවදුරටත් විවිධාංගීකරණය කිරීමට මඟ පෑදෙන බව ද එරට නිලධාරීන් පවසයි. ව්‍යාපෘති නිලධාරීන් සඳහන් කරන අන්දමට, මෙම සාර්ථක මෙහෙයුම මඟින් Gravity-1 රොකට්ටුවේ බාහිර සැකැස්ම සංකීර්ණ මුහුදු තත්ත්වයන්ට ඔරොත්තු දෙන ආකාරයත්, දිගු වේලාවක් සූදානම් මට්ටමේ පවත්වා ගැනීමේ හැකියාවත් මැනවින් සනාථ වී තිබේ.

