මැද පෙරදිග කලාපයේ උද්ගතව ඇති දැඩි උණුසුම්කාරී තත්ත්වය හේතුවෙන් ලෝකය පුරා සිටින සියලුම අමෙරිකානු ජාතිකයින් වෙත “දැඩි අවධානයෙන් හා ප්‍රවේශමෙන් කටයුතු කරන ලෙස” දන්වමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ගෝලීය ආරක්ෂක අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ඔවුන් පෙන්වා දෙන්නේ මැද පෙරදිග පවතින සංකීර්ණ ආරක්ෂක වාතාවරණය හමුවේ බලාපොරොත්තු නොවූ අයුරින් ගැටුම් තවදුරටත් උග්‍ර වීමේ ඉහළ හැකියාවක් පවතින බවයි.
එමෙන්ම මැද පෙරදිගින් පරිබාහිරව පිහිටි අමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික මධ්‍යස්ථාන පවා මේ වන විට ප්‍රහාරයන්ට ලක්ව ඇති බව පවසන රාජ්‍ය දෙපාර්තමේන්තුව, ඉරානය සහ ඊට සහාය දක්වන සංවිධාන විසින් ලොව පුරා පිහිටි අමෙරිකානු ආයතන, ව්‍යාපාර හෝ අමෙරිකානු වැසියන් බහුලව ගැවසෙන ස්ථාන ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් පවතින බවට ද අනතුරු අඟවයි.
මේ හේතුවෙන් දැනට මැද පෙරදිග කලාපයේ රැඳී සිටින අමෙරිකානුවන්ට ගුවන් ගමන් අවලංගු වීම් සහ විවිධ ගමන් බාධා කිරීම් පිළිබඳව දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස දැනුම් දී ඇත. තවද, දැනට එම කලාපයෙන් බැහැරව සිටින අමෙරිකානු ජාතිකයින්ට මැද පෙරදිග හරහා ගමන් කිරීම හෝ එහි සංචාරය කිරීම සම්බන්ධයෙන් නැවත වරක් සලකා බලන ලෙස ද අමෙරිකානු රජය වැඩිදුරටත් උපදෙස් දී තිබේ.

