පදක්කම් 85ක් දිනූ ශ්‍රී ලංකා කරාතේ සංචිතයට ගුවන් තොටුපොළේදී උණුසුම් පිළිගැනීමක්

0
5

බංග්ලාදේශයේ ඩකා නුවර පැවැති 10 වන දකුණු ආසියානු කරාතේ ශූරතාවලියේදී (10th South Asian Karate Championship 2026) රන් පදක්කම් 13ක්, රිදී පදක්කම් 23ක් සහ ලෝකඩ පදක්කම් 49ක් ඇතුළුව සමස්ත පදක්කම් 85ක් දිනාගනිමින් මව්බිමට මහත් අභිමානයක් අත්කර දුන් ශ්‍රී ලංකා ජාතික කරාතේ සංචිතය ඊයේ (21) පස්වරුවේ සාර්ථකව දිවයිනට පැමිණියේය.

ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL 190 දරන ගුවන් යානයෙන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණි මෙම ජාතික කණ්ඩායම පිළිගැනීම සඳහා තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශයේ සහ ශ්‍රී ලංකා කරාතේ සංගමයේ නිලධාරීන් මෙන්ම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් සහ ඥාතීන් විශාල පිරිසක් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

මෙම තරගාවලියේදී ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ විශිෂ්ට දක්ෂතාවලට අමතරව, කණ්ඩායම සමඟ එක්වූ ශ්‍රී ලාංකික පුහුණුකරුවන් පස් දෙනෙකු ද ආසියානු කරාතේ සම්මේලනයේ (AKF) නිල පුහුණුකරුවන්ට හිමි බලපත්‍ර (AKF Coaching Accreditation) හිමිකර ගනිමින් මෙරට කරාතේ ක්ෂේත්‍රයට නව ජවයක් එක් කිරීමට සමත් විය.

ගුවන් තොටුපොළේදී පැවැති මෙම උණුසුම් පිළිගැනීමේ අවස්ථාවට එක්වූ අමාත්‍යාංශ නිලධාරීන් ඇතුළු පිරිස, ජාත්‍යන්තර තලයේදී ශ්‍රී ලංකා නාමය ඉහළටම ඔසවා තැබූ සමස්ත ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ පුහුණුකරුවන්ට සිය හදපිරි සුබ පැතුම් පිරිනමන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here