ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ද්විත්ව බදු මගහැරීමේ ගිවිසුමට සංශෝධනයක්

0
15

ශ්‍රී ලංකාව සමඟ දැනට ක්‍රියාත්මක වන ද්විත්ව බදු මගහැරීමේ ගිවිසුමට (DTAA) සංශෝධනයක් එක් කිරීමට ඉන්දීය රජය පියවර ගෙන තිබේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන පරිදි, මෙම සංශෝධනය මඟින් “ප්‍රධාන අරමුණු පරීක්ෂාව” (Principal Purpose Test – PPT) නැමැති නව රෙගුලාසියක් ගිවිසුමට ඇතුළත් කර ඇති අතර එය ඊයේ (19) දින සිට බලාත්මක කර ඇත. බදු සහන ලබා ගැනීම පමණක් අරමුණු කරගෙන නිර්මාණය කරන ලද ව්‍යාපාරික ව්‍යුහයන් හඳුනා ගනිමින් බදු මගහැරීම් වැළැක්වීම මෙහි මූලිකම අරමුණයි. ඉන්දීය මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ මෙම නව විධිවිධාන ඉන්දියාව තුළ පසුගිය අප්‍රේල් මස 01 වැනි දින සිට උපයන ලද ආදායම් සඳහා ද අදාළ වන බවය.

මෙම නව රෙගුලාසිය යටතේ දේශසීමා හරහා සිදුවන ආයෝජනවල සැබෑ වාණිජමය අරමුණ කුමක්දැයි වඩාත් දැඩි ලෙස ඇගයීමට හා සොයා බැලීමට බදු බලධාරීන්ට අවස්ථාව හිමි වේ. එහිදී යම් ගනුදෙනුවක ප්‍රධානතම අරමුණ සැබෑ වාණිජ කටයුත්තකට වඩා බදු සහන ලබා ගැනීම බවට සාධාරණ ලෙස නිගමනය කළ හැකි වුවහොත්, එම ගිවිසුම යටතේ හිමිවන බදු ප්‍රතිලාභ ප්‍රතික්ෂේප කිරීමේ පූර්ණ බලය බදු බලධාරීන්ට පැවරෙනු ඇත.

ඒ අනුව, මින් ඉදිරියට ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආයෝජන සහ ව්‍යාපාරික කටයුතුවල නිරත වන සමාගම් මෙන්ම ආයෝජකයින් ද සිය දේශසීමා හරහා සිදුකරන ගනුදෙනු සඳහා පැහැදිලි වාණිජමය අරමුණක් පවතින බව තහවුරු කිරීමට අවශ්‍ය ලේඛන සහ සාක්ෂි නිසි පරිදි පවත්වාගෙන යා යුතුය. මෙම නව සංශෝධනය හේතුවෙන් දෙරට අතර ක්‍රියාත්මක වන සමාගම්වලට සිය බදු සැලසුම් සහ ආයෝජන උපායමාර්ගයන් නැවත සමාලෝචනය කිරීමට ද සිදුවනු ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here