හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ අවසන් කටයුතු අද

0
15

අභාවප්‍රාප්ත වූ හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (20) පස්වරුවේ පොලිස් ගෞරව සහිතව බොරැල්ල කනත්තේදී සිදු කිරීමට නියමිතව තිබේ. මෙරට 35 වන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ ඒ මහතා මියයන විට 63 හැවිරිදි වියේ පසුවිය. 1986 වසරේ පොලිස් සේවයට එක්වූ ඔහු, 2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සේවය අත්හිටුවීමත් සමඟ වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු අතර, පසුව 2020 නොවැම්බර් 27 වනදා පොලිස්පති ධුරයට පත් විය.

2023 මාර්තු මාසයේදී විශ්‍රාම යාමට නියමිතව සිටිය ද, නව පොලිස්පතිවරයෙකු පත් කරන තෙක් එවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අවස්ථා කිහිපයකදී සේවා දිගු ලබාදීම හේතුවෙන් ඔහු තවත් මාස 8කට ආසන්න කාලයක් ධුරයේ කටයුතු කර 2023 නොවැම්බර් 23 වනදා විශ්‍රාම ගනු ලැබීය.

මේ අතර, හිටපු පොලිස්පතිවරයා පසුගිය සිකුරාදා වෙඩි වැදීමකින් මියගොස් තිබූ අතර, එය සිය ආරක්ෂක නිලධාරියාගේ ගිනි අවියෙන් සිදුකරගත් සියදිවි හානි කර ගැනීමක් බවට පොලිසිය සැක පළ කරයි. ඔහුගේ දේහය සම්බන්ධයෙන් නැගෙනහිර කොළඹ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී විවෘත තීන්දුවක් ලබාදී ඇති අතර, සිරුරේ කොටස් මෙන්ම වෙඩි තබා ගැනීමට යොදාගත් බව කියන ගිනි අවිය ද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය සහ මාලබේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන අතර, ඊට අදාළව ඒ මහතාගේ බිරිඳගෙන් සහ ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකුගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here