බදු ගෙවීම පැහැර හැර ඇති මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් අදාළ හිඟ බදු මුදල් අයකර ගැනීම සඳහා දිසා අධිකරණය හමුවේ නඩු පැවරීමට පියවර ගෙන ඇති බව නීතිපතිවරයා අද (20) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
බදු පැහැර හැර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම්වලින් එම මුදල් අයකර ගැනීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය කෙරිණි.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම දැනුම් දීම සිදු කරන ලද අතර, ඒ අනුව හිඟ බදු අයකර ගැනීමේ නීතිමය ක්‍රියාමාර්ග කඩිනමින් ක්‍රියාත්මක වන බව ද සඳහන් විය.

