5 වන BIMSTEC ජාතික ආරක්‍ෂක ප්‍රධානීන්ගේ සමුළුවේදී කලාපීය සහයෝගිතාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව ආරක්‍ෂක ලේකම් අවධාරණය කරයි.

0
4

ඉන්දියාවේ නවදිල්ලි නුවරදී  ඊයේ (ජූලි 16) පැවැත්වුණු 5 වන BIMSTEC ජාතික ආරක්‍ෂක ප්‍රධානීන්ගේ සමුළුව අමතමින් ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික), කලාපීය ආරක්‍ෂක සහයෝගිතාව ශක්තිමත් කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ඇති කැපවීම යළිත් වරක් තහවුරු කළේය.

ඉහල පෙලේ ආරක්‍ෂක ප්‍රධානීන් සහභාගි වූ මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින්  ආරක්‍ෂක ලේකම්වරයා සහභාගි වූ අතර, බෙංගාල බොක්ක කලාපයේ ආරක්‍ෂාව යනු පොදු වගකීමක් බවත්, එය සුරැකිය හැක්කේ BIMSTEC සාමාජික රටවල් අතර පවතින අන්‍යෝන්‍ය විශ්වාසය, අඛණ්ඩ සංවාදය සහ සම්බන්ධීකරණය කරන ලද ක්‍රියාමාර්ග තුළින් පමණක් බවත් පෙන්වා දුන්නේය.

කලාපීය ආරක්‍ෂක ක්ෂේත්‍රයේ නිරන්තරයෙන් ඉස්මතු වන නව ප්‍රවණතා පිළිබඳව අදහස් දක්වමින්  ආරක්‍ෂක ලේකම්වරයා කියා සිටියේ, ත්‍රස්තවාදය, ප්‍රචණ්ඩකාරී අන්තවාදය, සයිබර් තර්ජන, දේශසීමා හරහා සිදුවන සංවිධානාත්මක අපරාධ, මත්ද්‍රව්‍ය සහ මිනිස් ජාවාරම්, අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම මෙන්ම දේශගුණික විපර්යාස හේතුවෙන් සිදුවන ව්‍යසනයන් ජාතික දේශසීමාවන් ඉක්මවා යන බැවින් ඒ සඳහා සාමූහික ප්‍රතිචාරයන් අවශ්‍ය වන බවයි. කිසිදු රටකට තනිවම මෙම අභියෝගයන්ට සාර්ථකව මුහුණ දිය නොහැකි බවද හෙතෙම එහිදී අවධාරණය කළේය.

දකුණු සහ ගිනිකොණදිග ආසියාව යා කරන පාලමක් ලෙස BIMSTEC සංවිධානය සතු වර්ධනය වන වැදගත්කම පෙන්වා දුන් ආරක්‍ෂක ලේකම්වරයා, කලාපීය සාමය, ස්ථාවරත්වය සහ තිරසාර සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා එය වැදගත් අවස්තාවක් බව විස්තර කළේය. බුද්ධි තොරතුරු සහ දත්ත හුවමාරු කරගැනීමේ යාන්ත්‍රණයන් ශක්තිමත් කිරීම, දේශසීමා අපරාධ සහ සයිබර් තර්ජන මර්දනය සඳහා වන සහයෝගීතාව පුළුල් කිරීම, මානුෂීය ආධාර සහ ආපදා ප්‍රතිචාර දැක්වීමේ කටයුතු වැඩිදියුණු කිරීම මෙන්ම කලාපීය ආයතන අතර සහයෝගීතාව වර්ධනය කිරීම ඔස්සේ පවතින ද්විපාර්ශ්වික සාකච්ඡා ප්‍රායෝගික ක්‍රියාමාර්ග බවට පරිවර්තනය කළ යුතු බවටද, ඒ මහතා මෙහිදී ඉල්ලා සිටියේය. එමෙන්ම, පවත්නා ආරක්‍ෂාවේ තිරසාරභාවය රඳා පවතින්නේ ශක්තිමත් දේශසීමා මත පමණක් නොව, විශ්වාසය, පොදු වගකීම සහ පොදු අරමුණු මත ගොඩනැඟුණු ශක්තිමත් හවුල්කාරිත්වයන් මත බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

භූගෝලීය සමීපතාව උපායමාර්ගික සහයෝගීතාවයක් බවට පරිවර්තනය කරමින්, අනාගත පරපුර උදෙසා සාමකාමී, ඔරොත්තු දෙන සහ සම්පත් බහුල බෙංගාල බොක්ක කලාපයක් සාමූහිකව ගොඩනැඟීමට සාමාජික රටවලට ඇති හැකියාව මත BIMSTEC සංවිධානයේ ශක්තිය රැඳී පවතින බව ශ්‍රී ලංකාවේ විශ්වාසය බව ආරක්‍ෂක ලේකම්වරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

පොදු කලාපීය ආරක්‍ෂක අභියෝග සහ සහයෝගීතාව වර්ධනය කරගැනීමේ මාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා පැවැත්වුණු මෙම සමුළුවට බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, මියන්මාරය, නේපාලය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය යන රටවල ජාතික ආරක්‍ෂක ප්‍රධානීන් සහ ජ්‍යෙෂ්ඨ ආරක්‍ෂක නිලධාරීන් සහභාගි වූහ. 6 වන BIMSTEC ජාතික ආරක්‍ෂක ප්‍රධානීන්ගේ රැස්වීම 2027 වසරේදී ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය දරනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here