බුලත්විට සමඟ දුම්කොළ විකුණන අයට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කිරීමට සැරසෙයි

0
11

බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන පුද්ගලයන්ට එරෙහිව ඉදිරියේදී දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම සංගමයේ වැඩබලන සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ 2006 අංක 27 දරන දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ අධිකාරි පනතට සහ 2016 සැප්තැම්බර් මාසයේ නිකුත් කළ ගැසට් නිවේදනයට අනුව මෙරට තුළ දුම් රහිත දුම්කොළ නිෂ්පාදන අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම් බවයි.

මෙරටින් වාර්ෂිකව මුඛ පිළිකා රෝගීන් 1750ත් 1900ත් අතර පිරිසක් වාර්තා වන බැවින්, මෙම පියවර ගනු ලබන්නේ ජනතාව මුඛ පිළිකාවලින් ආරක්ෂා කර ගැනීමට මිස බුලත්විට අලෙවිකරුවන් අපහසුතාවට පත් කිරීමට නොවන බව ද ඔහු අවධාරණය කළේය.

මෙරට පවතින සංස්කෘතික පසුබිම හේතුවෙන් මෙතෙක් කල් මෙම නීතිය ඍජුව ක්‍රියාත්මක නොකර ජනතාව දැනුවත් කිරීමට පමණක් පියවර ගත් බවත්, වැරදි නිවැරදි කර ගැනීමට ජනතාවට ප්‍රමාණවත් කාලයක් ලබා දී ඇති බැවින් ඉදිරියේදී නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් හෙතෙම කියා සිටියේය.

ඒ අනුව බුලත්විට සමඟ දුම්කොළ අලෙවි කරන්නන්ට එරෙහිව මහේස්ත්‍රාත් අධිකරණයක් හමුවේ නඩු පැවරුවහොත් රුපියල් 2000ක දඩයක් හෝ මාස හයක සිරදඬුවමක් නියම කළ හැකිය. කෙසේ වෙතත්, මෙම තහනම බලපාන්නේ දුම් රහිත දුම්කොළ සඳහා පමණක් වන අතර, දුම් සහිත දුම්කොළ අලෙවිය සඳහා නීතියෙන් අවසර පවතින බව ද උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැහැදිලි කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here