ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) තරගාවලියේ හයවැනි අදියර හෙට (17 වැනිදා) පස්වරු 6.15 ට කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන උත්කර්ෂවත් සමාරම්භක උළෙලකින් ආරම්භ වෙයි. ක්‍රිකට් ක්‍රීඩාව, නැටුම්, ගැයුම් මෙන්ම නවීන තාක්ෂණයද මුසුකරමින් නව මුහුණුවරකින් සංවිධානය කර ඇති මෙම උත්සවයේදී කණ්ඩායම් හඳුන්වාදීම සහ කුසලානය නිරාවරණය කිරීම සිදුවේ. ඉන් අනතුරුව පස්වරු 7.45 ට ආරම්භ වන සමාරම්භක තරගයේදී පසුගිය වසරේ ශූරයන් වූ යාපනය කිංග්ස් පිල සහ ගාල්ල ගැලන්ට්ස් කණ්ඩායම තරග වැදීමට නියමිතය.
2020 වසරේදී ආරම්භ වූ එල්.පී.එල්. තරගාවලියේ මෙතෙක් පැවැති අදියර පහෙන් තුනකදීම ශූරතාව දිනාගෙන ඇත්තේ යාපනය කිංග්ස් කණ්ඩායම වන අතර, විවිධ හේතූන් මත 2025 වසරේදී තරගාවලිය නොපැවැත්විණි. මෙවර තරගාවලිය ක්‍රීඩාංගණ හතරකදී පැවැත්වෙන අතර හෙට සිට 19 වැනිදා දක්වා තරග 5 ක් කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ඉන් පසුව මූලික වටයේ සෙසු තරග දඹුල්ල සහ පල්ලෙකැලේ ක්‍රීඩාංගණවලදීත්, අවසන් වටයේ සියලුම තරග කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

