මැදපෙරදිග කලාපයේ හටගත් යුදමය තත්ත්වය හේතුවෙන් ගුවන් අවකාශයන් වසා දැමීම නිසා, කටුනායකින් පිටත්ව ගිය ශ්‍රීලන්කන් ගුවන් යානා දෙකක් දැඩි අවදානම් සහගත තත්ත්වයකට මුහුණ දී තිබේ. ඊයේ (14) පස්වරුවේ කටුනායක ගුවන්තොටුපොළෙන් කුවේට් බලා පිටත්ව ගිය යූ.එල් – 229 සහ දමාම් බලා පිටත්ව ගිය යූ.එල් – 253 දරන A – 321 නියෝ වර්ගයේ ගුවන් යානා දෙක මෙම ගැටලුවට පත්ව ඇත. මෙම යානා මැදපෙරදිග කලාපයට ළඟාවනත්ම ඉරානය විසින් එල්ල කළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් හේතුවෙන් කුවේටය සහ සෞදි අරාබිය තම ගුවන් අවකාශයන් වසා දැමීමට පියවර ගෙන තිබුණි.
එම අවස්ථාවේදී ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට තරම් ප්‍රමාණවත් ඉන්ධන යානා සතුව නොතිබීම නිසා, නියමුවන්ට සිදු වූයේ එම කලාපයේ ඉහළ අහසේම රැඳී සිටීමටයි. ඒ අනුව පැයකුත් විනාඩි 10ක පමණ කාලයක් අහසේ පියාසර කරමින් සිටි ගුවන් යානා දෙක, පසුව ගුවන් කලාපය විවෘත කිරීමත් සමඟ ආරක්ෂිතව අදාළ ගුවන්තොටුපොළවල් වෙත ගොඩබැස්සවීමට නියමුවන් සමත්ව තිබේ. මෙම යුදමය වාතාවරණය හේතුවෙන් තවත් විදේශීය ගුවන් යානා රැසක් ද ගොඩබැස්සවීමට නොහැකිව අහසේ රැඳී සිට ඇති අතර, අදාළ ශ්‍රීලන්කන් ගුවන් යානා දෙක අද (15) උදෑසන වන විට යළිත් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණි බව ශ්‍රීලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශයේ ප්‍රධානී දීපාල් පෙරේරා මහතා තහවුරු කළේය.

