මෙරටින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව දැඩි ලෙස ඉහළ යමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඊයේ (14) දින වන විට වසරේ ගතවූ කාල සීමාව තුළ සමස්ත ඩෙංගු රෝගීන් 71,235 දෙනෙකු වාර්තා වී ඇති අතර, ඩෙංගු වැළඳීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 49ක් දක්වා ඉහළ ගොස් තිබේ. තත්ත්වයේ බරපතලකම පෙන්වමින් ඊයේ (14) දිනය තුළ පමණක් අලුතින් රෝගීන් 1,284 දෙනෙකු හඳුනාගෙන ඇත.
වාර්තා වන දත්තවලට අනුව රෝග ව්‍යාප්තියෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ බස්නාහිර පළාතට වන අතර, එතෙක් වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 37,490කි. බස්නාහිර පළාත තුළද වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 14,736ක් ලෙස සටහන් වේ. මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ද රෝගීන් 14,229 දෙනෙකු මේ වන විට හඳුනාගෙන තිබේ.
කාලීන දත්ත විශ්ලේෂණය කිරීමේදී ජූලි මාසයේ ගතවූ දින 14ක කෙටි කාලය තුළ පමණක් රෝගීන් 15,856 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පෙන්වා දෙයි. කෙසේ වුවද, මේ වසරේ මේ දක්වා වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පසුගිය ජුනි මාසයේදී වන අතර, එම මාසය තුළ පමණක් හඳුනාගත් රෝගීන් සංඛ්‍යාව 21,538කි.

