කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේදී විශේෂ කාන්තා සහ ළමා අනුකමිටු රැස්වීමක් පවත්වා තිබේ. දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලට සමගාමීව මෙම අනුකමිටු පිහිටුවා ඇත්තේ කාන්තා හා ළමා විෂය ක්ෂේත්‍රයට අදාළ ගැටලු, අවශ්‍යතා සහ තොරතුරු දිස්ත්‍රික් මට්ටමින් වඩාත් කාර්යක්ෂමව සාකච්ඡා කිරීමේ අරමුණෙනි.
මෙම රැස්වීමේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ කාන්තාවන් සහ දරුවන් සම්බන්ධ සංඛ්‍යාත්මක දත්ත සහ වාර්තා පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු විමසා ඇති අමාත්‍යවරිය, එහි පවතින අඩුපාඩු කඩිනමින් නිවැරදි කිරීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නාය. මීට අමතරව, දිස්ත්‍රික්කයේ පවතින ක්ෂේත්‍ර නිලධාරී පුරප්පාඩු පිළිබඳවද මෙහිදී සමාලෝචනය කෙරුණු අතර, එම පුරප්පාඩු පිරවීම සඳහා අමාත්‍යාංශ මට්ටමින් අවශ්‍ය මැදිහත්වීම් කඩිනමින් සිදු කරන බවට ඇය සහතික විය.
මෙහිදී විශේෂ අවධානයක් යොමු වූයේ මත්ද්‍රව්‍ය භාවිතය, ඇබ්බැහි වීම් සහ විවිධ මත්ද්‍රව්‍ය වැරදි හේතුවෙන් පරිවාසගත කර සිටින දරුවන් පුනරුත්ථාපනය කිරීම කෙරෙහිය. ඒ අනුව, එම දරුවන් වෙනුවෙන් ඉදිරියේදී විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍යාංශය තීරණය කර ඇත. මෙහි මූලික පියවරක් ලෙස, දැනට පරිවාස භාරයේ පසුවන දරුවන් අතුරින් වෘත්තීය අධ්‍යාපනය සඳහා යොමු කළ හැකි පිරිස් හඳුනාගෙන වාර්තාවක් සකස් කරන ලෙස අමාත්‍යවරිය විසින් උතුරු මැද පළාත් පරිවාස කොමසාරිස්වරියට උපදෙස් දෙනු ලැබීය.
රජයේ වෘත්තීය අධ්‍යාපන ආයතන සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩසටහන මඟින් අදාළ දරුවන්ට අවශ්‍ය වෘත්තීය නිපුණතා ලබා දී, ඔවුන් නැවත සමාජගත කිරීමට බලාපොරොත්තු වේ. මෙම සමස්ත ක්‍රියාවලියේ අවසන් අරමුණ වන්නේ, පරිවාසගත දරුවන් පුනරුත්ථාපනය වී නැවත සමාජයට එක්වන විට, තමන්ගේම කියා ජීවිතයක් ගොඩනඟා ගත හැකි, ස්වාධීන මෙන්ම වගකීම් සහගත පුරවැසියන් පිරිසක් බිහි කිරීමයි.

