එයාර් බස් ගනුදෙනුවේ අල්ලස් විමර්ශන ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අල්ලස් කොමිසමට නියෝග

0
8

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදුව ඇතැයි කියන දැවැන්ත අල්ලස් ලබා ගැනීමේ සිද්ධියට අදාළ විමර්ශනවල ප්‍රගතිය ලබන ඔක්තෝබර් මස 13 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (14) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට නියෝග කළේය.

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්.බෝදරගම මහතා ඉදිරියේ මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී අදාළ නියෝගය නිකුත් කෙරුණු අතර, එහිදී අල්ලස් කොමිසම විසින් මේ දක්වා සිදුකර ඇති විමර්ශනවලට අදාළ වාර්තාවක්ද අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.එමෙන්ම විමර්ශනවල ඉදිරි ප්‍රගතිය වාර්තා කිරීම සඳහා තවදුරටත් කාලය ලබා දෙන ලෙස කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් කළ ඉල්ලීමටද මෙහිදී අවසර හිමි විය.

මෙම නඩු විභාගය අතරතුර ව්‍යාපාරික නිමල් පෙරේරා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උදාර මුහන්දිරම්ගේ මහතා අධිකරණය හමුවේ කරුණු දැක්වීමට අවසර ඉල්ලා සිටියද ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඊට අවසර ලබා නොදුන්නේය. මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ අදාළ ව්‍යාපාරිකයා මේ වන තෙක් මෙම නඩුවේ සැකකරුවකු වශයෙන් නම් කර නොමැති බැවින් ඔහු වෙනුවෙන් කරුණු දැක්වීමේ අවශ්‍යතාවක් පැන නොනඟින බවයි.

මෙම අල්ලස් සිද්ධියේ පළමු සැකකරු ලෙස නම් කර සිටි ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා පසුගියදා අභිරහස් ලෙස මියගොස් ඇති අතර, නඩුවේ දෙවන සැකකාරිය වන ඔහුගේ බිරිඳ ප්‍රියංකා නියෝමාලි විජේනායක සහ තුන්වන සැකකරු වන ශමින්ද්‍ර රාජපක්ෂ යන අය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා මීට පෙර වරෙන්තු නිකුත් කර තිබුණි.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, මෙම පැමිණිල්ල ලබන ඔක්තෝබර් මස 13 වැනිදා නැවත කැඳවීමට නියම කළ අතර එදිනට විමර්ශනවල ප්‍රගතිය සවිස්තරාත්මකව අධිකරණයට දැනුම් දෙන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here